මිය යන්නට පෙර සිටම මළගම සූදානම් කැරගෙන සිටින මිනිසෙක් දඹුල්ල සතිපොළ භූමියේ පදිංචි වී සිටී.
ඔහු නමින් ඩබ්ලිව්.එම්. පුංචිබණ්ඩා (67) මහතාය. දරුවන් තිදෙනකුගේ පියෙකු වන ඔහු බිරිඳ මිය ගොසිනි. ඔහුගේ දරුවන් තිදෙනාද විවාහ වී වෙනත් ප‍්‍රදේශවල පදිංචිවී සිටිති.
මිනී පෙට්ටිය ඔහු පදිංචි වී සිටින කුඩා නිවසේ වහලයේ ලීයක එල්ලා ඇත. දුවිලි වැදීම වැලකීම සඳහා පොලිතින් කවරයකින් හා විශාල රෙද්දකින් මිනී පෙට්ටිය ඔතා තිබේ.
පුංචි බණ්ඩා මහතා කියා සිටියේ මිය යෑම සත්‍ය දෙයක් නිසා දරුවන්ට හෝ ඥාතීන්ට කරදරයක් නොවී තමන් හම්බකැර ගන්නා මුදලින් කීයක් හෝ ඉතිරිකැර අවසන් කටයුතුවලට පහසුකැර තැබූ බවයි.
ඔහු පෙට්ටිය මිලදී ගෙන ඇත්තේ රුපියල් 8500කටය. දැන් එවැනි පෙට්ටියක මිල එමෙන් තුන් ගුණයක් පමණවේ.
ආදාහනය කිරීම සඳහාද තමන් මේ දිනවල හම්බකරන මුදල් වෙන් කරමින් සිටින බවත් එම මුදල නගර සභාවට බැඳ ලදුපතද පෙට්ටියේ දමා තබන බවත් ඔහු කීය.
හදිසි අනතුරකදී එක් අතක් අහිමි පුංචි බණ්ඩා මහතා දඹුල්ල සතිපොළේ වඬේ විකුණමින් තනිවම ජීවත් වෙයි.

