සිරි යහනේ ලණු ඉහිරි
සුසුම් හෙළන රැ
මකුළු දැලෙන් සිරි සිරියේ
වියන් බඳින රැ
යට ලීයෙන් නාරිලතා
මල් පුදින්නේ............
සඳෙන් සඳට මුවාවෙලා
කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බින්දු
පැදුරට මුහුවෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා
මල් පුදින්නේ......
යහන තලා සැප විඳිනා
පලදී නැතුවා පෙර පින්
මාල වළලු නොනිත් අයට
අප අමතක වෙලා ගිහින්
යට ලීයෙන් නාරිලතා
මල් පුදින්නේ....
ගී පද - ලුෂන් බුලත්සිංහල
සංගීතය - එච්.එම්.ජයවර්ධන
ගායනය - එඩ්වඩ් ජයකොඩි
අවිවාහක තරුණයකුගේ සංවේදී ආත්ම ප්‍රකාශනය ගීතයේ අන්තර්ගතය යි. අද්‍යතන සමාජයේ රැකියා වියුක්තියෙන් ආර්ථික අහේනියෙන් පීඩාවට පත්වන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ විවාහය කල්ගත වන්නක් වී තිබේ. නිසි කල වයස ද පසුවී විවාහ වීමට නොහැකි ව පිඩනයෙන් ළතැවෙන එබඳු කථකයෙක් සිය හැඟීම් මේ ගීතයෙන් පළ කරයි. ගීතයේ ස්ථායි කොටසෙහි අපුරු කාව්‍යෝක්තියක් සුවිශද වෙයි. ලණු ඉහිරුණු ඇඳක උඩුබැල්ලෙන් දපා සිටින තනිකඩයෙක් රාත්‍රියට මුහුණ දී සිටියි.
සිරි යහනේ ලණූ ඉහිරි
සුසුම් හෙළන රැ
මකුළු දැලෙන් සිරි සිරියේ
වියන් බඳින රැ
යට ලීයෙන් නාරිලතා
මල් පුදින්නේ......
මේ තනිකඩයාගේ සිරි යහනේ ලණු ඉහිරි සුසුම් හෙළයි. ද්‍රරිද්‍රතාවෙන් පෙළෙන ඔහුට සිරි යහනක් කොහින්ද? ඔහු සතු ලණු ඇඳ සිරි යහනක් කොට දැකීම වත්මන් අවිවාහක තරුණ පරපුරේ ඛේදවාචකය. උත්ප්‍රාසාත්මකව කවියට නැඟිමකි. ඒ උත්ප්‍රාසය වඩා තීව්‍ර වු කාව්‍යමය ප්‍රකාශනයක් බවට පත්වන්නේ සිරි යහනේ ලණූ ඉහිරි සුසුම් හෙළන බව කී මෙනි. එය නාම පද ක්‍රියාපද එක්ව සෑදෙන රූපයකි. කථකයාගේ ආත්මය වටා පැතිර පවත්නා දුක ශෝකය හා වේදනා අන්ධකාරය එයින් අතිශය ප්‍රබල ලෙස නිරූපණය කිරිමට රචකයා සමත් වේ.
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බැඳිම ද තවත් එබඳු ප්‍රබල තියුණු සංකේතාත්මක යෙදුමකි. කථකයා කෙරෙහි කුටුම්බයක් පිළිබඳ වන අපේක්ෂාව සහ එම අපේක්ෂාවල අවිනිශ්චිත භාවය ද ඉන් ගම්‍ය කෙරේ. මේ ගීය පුරාම ගලා යමින් ගීතයේ සමස්ත අන්තර්ගතය අති ප්‍රබල ලෙස පෝෂණය කරන සංකේතාත්මක යෙදුමක් ද ඉන්පසු අපට හමුවේ. යට ලීයෙන් නාරිලතා මල් පීදිම බහු අරුත් ජනනය කරන සංකේතයකි. ස්ත්‍රී රූපකයක් කථකයාගේ භාව ලෝකය තුළ මැවි ඒම ස්ත්‍රී රූපකය පිළිබඳ ඔහුගේ ලෝලිතාව ස්ත්‍රීයක සම්බන්ධයෙන් ඔහු තුළ පවත්නා බලාපොරොත්තුව එයින් තියුණුව නිරූපණය කෙරේ.
නාරිලතා මල් පිපීම භාවික හැඟුම් දනවන යෙදුමකි. හිමාලයේ තවුසන්ගේ ද දැහැන් බිඳීමට නාරිලතා මල් සමත් වු බව පුරාණෝක්තිවල කියැවේ. ස්ත්‍රී රූපයට සමාන ස්වරූපයක් ගන්නා නිසාත් , ස්ත්‍රී සෞන්දර්යය නිරූපණය වන නිසාත් නාරිලතා පුෂ්පය පුරුෂයන් තුළ ආකර්ෂණයක් ඇති කිරිමට සමත් වේ. තමාගේ කල දවස ගෙවී යෑම පිළීබඳ වන වේදනාව ද ඒ පිළිබඳ ඔහු රහසේ කඳුළු සලන බව ද ඒ කඳුළු ඔහු වැනි පීඩිතයන්ගේ නෙතට නුහුරු බව ද ඉන් විද්‍යමාන වේ.
සඳෙන් සඳට මුවාවෙලා
කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බින්දු
පැඳුරට මුහුවෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා
මල් පුදින්නේ....
තම දුප්පත්කම ස්ත්‍රියකගේ ප්‍රේමය නොලැබි යෑමේ ඛේදවාචකය කථකයා දෙවැනි අන්තරා කොටසෙන් හෙළිදරවු කර සිටියි. එහිදි තමන් මේ තත්ත්වයට පත්වුයේ පෙර පින් නැතිවිමේ අභාග්‍යය නිසා බවද කියා පායි. මෙනයින් තමන්ට කායිකව සංතෘප්ත විමේ අවස්ථාව නොලැබුණු බවද සම්භෝග ශෘංගාර රස අහිමි වු බවද ප්‍රකාශ කරයි. ඒ සඳහා රචකයා යොදා ගෙන ඇති යහන් තලා සැප විඳිමින් යන යෙදුම ගැමි වහරේ අපුර්වත්වය මේ ගීයට කදිම ලෙස යොදාගත් බවට සාක්කියකි. ඖචිත්‍යයෙන් අනුන ඒ බස රූපකාර්ථවත්ය. සිරි යහනේ ලණූ ඉහිරී සුසුම් හෙළීම , යට ලීයෙන් නාරිලතා මල් පීපිම , සඳෙන් සඳට මුවාවෙලා කල දවස ගෙවි යෑම එබඳු රූපකාර්ථභාව ප්‍රයෝග වේ. අද්‍යතන සමාජයේ කාලීන ප්‍රශ්නයක් වඩාත් සංයමශිලි කථන ස්වරූපයකින් සංවේදීව කියා පෑමට මෙහිදී ලුෂන් බුලත්සිංහ නමැති ප්‍රතිභාපුර්ණ ගේය පද රචකයා සමත් වේ.
ශෝකය උපදින්නේ තමාට අවශ්‍ය යම් දෙයක් නැති වීමෙනි. නැති බැරියාව, අහිමියාව, නොහැකියාව ශෝකයට හේතුය. සාහිත්‍යයට හා කලාවට බහුල ලෙස ම විෂය වන්නේ මේ ශෝකයයි. සාහිත්‍යයෙහි හා කලාවෙහි මුඛ්‍යරසය ලෙස කරුණරසය පවත්නා බව කීයේ එහෙයිනි. පුරුෂයන්ට තමා පතන ලියන් ද ස්ත්‍රීයන්ට තමා පතන පුරුෂයන් ද නොලැබීම ඉහත කී වියෝගයේ ම කොටසකි. “සිරි යහනේ ලණූ ඉහිරි“ නමැති ගීතය ලුෂන් බුලත්සිංහලයන්ගේ ගීත කලාවේ සාධනීය පාර්ශවය නිරුපණය කරන කැඩපතක් බඳුය.


