(අනීෂා මානගේ)
බස් රථ රියදුරෙකුගේ සේවය අසාධාරණ ලෙස තාවකාලිකව අත්හිටුවේ යැයි කියමින් අද (28) දහවල් සිට තංගල්ල ඩිපෝවේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බව එම බස් රියදුරෝ පවසති.
මෙලෙස තාවකාලිකව සේවයෙන් ඉවත්කර ඇත්තේ තංගල්ල - කොළඹ අධිවේගි මාර්ගයේ ධාවනය කරන බස් රථ රියදුරු මහතෙකු වන අනුර ප්‍රියන්ත මහතාය. පසුගිය 25 වැනි දා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 40 කණුව අසලින් බස් රථය ධාවනය කරමින් සිටියදී බස් රථයට ඉදිරියෙන් දකුණු පසින් ධාවනය කළ මෝටර් රථයකට බස් රථයේ නලාව නාද කර ඉදිරියට යෑමට ඉඩ ඉල්ලා ඇති අතර එම මෝටර් රථයේ රියදුරු බස් රථයට ගමන් කිරීමට ඉඩ දී නොමැත.
මේ හේතුවෙන් බස් රථය මෝටර් රථයට වම් පසින් ඉස්සර කර ඉදිරියට ධාවනය කළ බව රියදුරු අනුර ප්‍රියන්ත මහතා පවසයි. තවද බස් රථය වම් පසින් ධාවනය කරද්දී මෝටර් රථය යළි ඉස්සර කර බස් රථය හරස් කිරීමටද උත්සාහ ගත් බව රියදුරු මහතා කියයි.
මේ සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු කළ පැමිණිල්ලක් අනුව බස් රථයේ රියදුරු මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවා නැවත රියදුරු පුහුණුවක් සඳහා යොමු කර තිබේ.
මෙලෙස රියදුරු මහතාගේ සේවය අත්හිටුවීමට විරෝධය දක්වමින් හා යලි එම රියදුරු මහතා සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා තංගල්ල ඩිපෝවේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලුම බස් රථ ධාවනයෙන් ඉවත්වී ඇත.