(විනීතා එම් ගමගේ)
බැංකු ඇතුළු විවිධ ණය දෙන ආයතනවලින් ණය ඉල්ලූම් කරන පුද්ගලයන් වෙනුවෙන් විශේෂිත මිනුම් ඒකකයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ පියවර ගෙන ඇත.
නව ක‍්‍රමය යටතේ ණය ලබාදෙන ආයතනවලින් ණය ඉල්ලූම් කරන පුද්ගලයින්ට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය ලකුණු ප‍්‍රදානය කරන අතර අංක 250 සිට 900 දක්වා පරාසයක පැතිරෙන ලකුණු ණය නොගෙවන හා පැහැර හරින පුද්ගලයින්ට ලැබෙනු ඇත.
නව ක‍්‍රමයේ දී ණය ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ට එසේ පැහැර හැරීම් වැඩිවන තරමට ලකුණු එකතු වන බවද ඒ අනුව යළි ණයක් ලබාගත හැකි ද නොහැකි ද යන්න තීරණය කෙරෙනු ඇත.
මේ අනුව ණයක් නොගෙවීම නිසා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ නම සඳහන් වන තැනැත්තෙකුට වුවත් මෙම ලකුණු අඩු මට්ටමක පවතී නම් එය ණය ලබාගැනීමට සුදුසුකමක් වන බව එම කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය.
යම් හෙයකින් එසේ ණය ගෙවීම් පැහැර හැරීම දිගින් දිගටම සිදුවුවහොත් ලකුණු ප‍්‍රමාණය වැඩිවන නිසා ණය ලබාගැනීම අපහසු වන බවත් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම ඉදිරියේ දී ණය පැහැර හැරීම්වලින් තොර පුද්ලයින්ට තම කීර්ති නාමය ඇපයට තබා ණය ලබාගැනීමට අවස්ථාව උදාකිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කීය.

