ඩලස් රදම්පොළ ඉතිහාසය යළි ලියයි


මහනුවර රජ කළ දෙවැනි රාජසිංහ රජුගේ නැගණිය හා වික්‍රමරත්න නම් ඇමැතිවරයකු විසූ බවට ද, සීතාවක මායාදුන්නගේ පුත් ටිකිරි කුමාරයා ද විසූ බවට ජනප්‍රවාදයේ සඳහන් ඌරුගමුවේ,  ගම් 18ක කේන්ද්‍රය වන, රදම්පොළ කුඩා නගරය ඉන් සිය වස් ගණනාවකට පසුව පුංචි නගරයක් වශයෙන් සංවර්ධනය වී ඇත. එහි නිර්මාතෘ ඇමැති ඩලස් අලහප්පෙරුම බදාදා මධ්‍යම රැය ආසන්නයේදී විවෘත කරයි.ඔමු එම වෙලාව දක්වා ඇත්තේ දෙසැම්බර් 12 වැනි දින රාත්‍රී දොළහට මිනිත්තු 12ක් තිබියදී යෙදෙන නැකතින් මේ පුංචි නගරය විවෘත කරන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මේ උත්සවයේ විශේෂ ආරාධිතයෙකි. එදා අඩි පාර, කරත්ත පාර හා පොල්අතු සෙවිලි කළ තේ කඩ තිබූ රදම්පොල අද කාපට් ඇතිරූ මාර්ග වලින් ද, ලස්සන ගොඩනැගිලි, පොකුණු, වෙළෙඳපොළ, විහාරාරාම හා රජයේ කාර්යාල ආදියෙන් ද පරිපූර්ණ වී ඇත. සියලු ප්‍රජා පහසුකම් සැලැස්මක් ඇතිව එහි ඇති බව ඇමැති කියයි. රජවරුන් සිටි නිසා ද, රන් පොල් ගෙඩියක් හමුවීම නිසා ද, භික්ෂූන් වහන්සේ නමක් හන්දියක බණ කී නිසා ද, ගමට රදන් පොළ යන නම ලැබෙන්නට ඇතැයි මත කීපයකි.