ටියුෂන් පන්තියට පොලිස් ඇස


ගම්පහ ඇතැම් උපකාරක පන්ති හා ලැගුම්හල් ආශ්‍රිතව සිදුවෙතියි කියන  අපචාර   ක්‍රියා අවම කිරීමට පොලිසිය සැරසෙයි.

ගම්පහ   උපකාරක පන්ති සහ ලැගුම්හල් ගැන සමීක්ෂණයක් සිදු කර අද (4) වාර්තාවක් සකස් කර ඇති අතර ඒ අනුව ඒවා අධීක්ෂණයට උප පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු පත් කරනු ලැබ සිටිති.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්ෂණයෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

උපකාරක පන්ති ඇති ස්ථානවල හා වැඩි වශයෙන් ළමයින් ගැවසෙන ස්ථානවලත්, ලැගුම් හල් ඇති ස්ථානවලත්, පාසල් ආශ්‍රිතවත් පෞද්ගලික ඔත්තුකරුවන් යොදා ඇතැයි ද, ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු අනුව එම ප්‍රදේශ භාරව පත් කර ඇති උප පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු තම ප්‍රධානීන්ගේ ද සහායෙන් අයතා ක්‍රියාවක් සිදුවන්නේනම් ඒ මොහොතේම වැටලීම් සිදු කරන බව ද පොලිසිය කියයි.

 නගරයක ලැගුම් හලක් නීත්‍යනුකූලව පවත්වාගෙන යා යුතු ආකාරය හා නඩත්තු කළ යුතු ලේඛන ගැනත්, අපචාර ක්‍රියා අවම කර ගන්නා ආකාරය ගැනත් පසුගිය සතියේ ලැගුම්හල් හිමියන් දැනුවත් කර ඇත.

උම උපදෙස් පිළි නොපදින පිරිස් ගැන සෙවිල්ලෙන් පසුවන බවත්, ගම්පහ දිසාවේ යම් කිසි නීති විරෝධී ක්‍රියාවක් සිදුවන බවට තොරතුරක් ලැබුණහොත් 033 2222222 හෝ  පොලිස් අධිකාරී කාර්යාලයයට දන්වලන ලෙසත් පොලිසිය ඉල්ලයි.