ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්


සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර් රජ පවුලෙන් සුඛෝපබෝගී බෝයිං 747-8 වර්ගයේ මගී ගුවන් යානායක් තෑගි කෙරෙනු ඇතැයි ද පැවැසෙයි.

ට්‍රම්ප් සහ කටාර් රජ පවුල අතරේ ද සමීප සබඳතා පවතී. කටාර් රාජ්‍යය ද සෞදිය මෙන්ම ඇමෙරිකාවේ හිතවතකු වන අතර, කලාපීය ගැටලුවලදී ඇමෙරිකාවට සහාය දක්වන්නේ කටාර් රාජ්‍යයයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය ලෙස සැලකෙන්නේ ‘එයාර් ෆෝස් 1’ ය. මෙම නිල ගුවන් යානය වෙනුවට, කටාර් රාජ්‍යයෙන් තෑගි ලෙස ලැබෙන ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වටිනා මෙම සුඛෝභෝගී ගුවන් යානය භාවිතයට ගත හැකි යැයි පැවැසෙයි. ලොව වඩාත් සුඛෝපභෝගී ගුවන් යානය ලෙස ද මෙම ගුවන් යානය සැලකෙයි.

ට්‍රම්ප්ට ගුවන් යානයක් මේ අයුරින් තෑගි ලැබීම සම්බන්ධයෙන්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඒ, ඇමෙරිකන් ජනාධිපතිවරයාට, විදේශවලින් තෑගි ලබා ගැනීම නොහැකි බව පෙන්වා දෙමිනි.

මීට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, වසර ගණනාවක් පැරණි එයාර් ෆෝස් 1 නිල ගුවන් යානය වෙනුවට නව නිල ගුවන් යානයක් තෑගි ලැබීම සතුටට හේතුවක් බවය.

මේ අතර ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ, තමන්ගේ ධුර කාලය අවසන් වනතුරු තමන්ට මෙම තෑගි වශයෙන් ලැබෙන ගුවන් යානය භාවිතයට ගැනීම කළ හැකි බවත්, තමන් ධුරයෙන් සමු ගනිද්දී, ගුවන් යානය ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ පුස්තකාලයට පරිත්‍යාග කරන බවත්ය.