
(ටෝනි කරුණානායක)
නාකොටික් නිලධාරීන් සමඟ එක්ව හෙරොයින් ජාවාරම් කළ ටයිල් චමින්ද නැමැත්තා ගේ බැංකු ගිණුමේ රුපියල් 373,725,304 (තිස් හත් කෝටි තිස් හත් ලක්ශ විසි පන් දහස් තුන්සිය හතරක්) බැර වී තිබි ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (22) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචි චමින්ද දයා ප්‍රියංක මල්ලවආරච්චි (ටයිල් චමින්ද ) නැමැති සැකකරු සම්බන්ධයෙන් මුදල්විසුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන පරීක්ෂණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එසේ ලිඛිත කරුනු වාර්තා කළේය.
සැකකරු 2018/06/20 දින දිවුලපිටිය ප්‍රදේශයේ බැංකුවක ගිණුමක් විවෘත කර ඇති බවත් 2018/06/20 සිට 2020/06/15 වන විට එම ගිණුමට රුපියල් 373,725,304 ක මුදලක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් බැර වී ඇති බවත් එම මුදල් චෙක්පත් මගින් සහ ඒ.ටි.එම්. යන්ත්‍ර මගින් සැකකරු විවිධ අවස්ථා වලදී ලබා ගෙන ඇති අතර 2020/6/15 දින වන විට එම ගිණුමේ ඉතිරිව ඇති ශේෂය රුපියල් 183,488.26 ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.
මහාධිකරණ නියෝග මත එම ගිණුම් සහ සැකකරුගේ ගිණුමෙන් රුපියල් 1,060,000 ක මුදලක් බැර වී ඇති ගිණුමක් අත්හිටුවීමට කටයුතු කර ඇති බවත් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.
ඉදිරි විමර්ශන සිදු කර ප්‍රගතිය වාර්තා කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

