(කාංචන කුමාර ආරියදාස)
ටයර් දමා ගිනිතබා පිච්චෙමින් තිබෙන මිනිස් මළ සිරුරක් දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ පිහිටි පාළු ස්ථානයක තිබී දඹුල්ල පොලීසිය සොයාගෙන තිබේ.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත දඹුල්ල පොලිසියේ කණ්ඩායමක් ගෝන වැව ප්‍රදේශයට ගොස් සොයා බැලීමේදී ඒ වනවිටත් ටයර් දමා මෙම සිරුර පිලිස්සීමෙන් තිබුණු බව පොලීසිය කියයි.
ඊට පෙර දින හෝ දහවල් කාලයේ මෙම අපරාධය සිදු කරන්නට ඇතැයි පොලිසිය විශ්වාසය පළ කර සිටී.
මෙසේ මියගොස් ඇත්තේ කවුරුන්ද මෙම අපරාධය සිදු කළේ කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නැති බව දඹුල්ල පොලිසියේ උසස් නිලධාරියෙකු පැවැසීය.
ඉහල ඇරෑවුල ගෝන වැව ජන ශූන්‍ය ප්‍රදේශයේ හේන් ගොවිතැන් සහ ගවයන් බැඳීම ආදී කටයුතු සිදු කරන බව පොලිසිය කියයි.
මෙම ස්ථානයේ අඩි හතරක පමණ විශාල පැරණි වලක් ඇති බවත් එම වලට ටයර් දමා සිරුර පුළුස්සා තිබෙන බවත් එහි අස්ථි කොටස් සහ හිස ප්රදේශය තවමත් එම ස්ථානයේ පිළිස්සෙමින් තිබී ඇත.
මෙම ප්‍රදේශයේ යාබදව කණ්ඩායමක් හෝ කීප දෙනෙකු මත්පැන් පානය කර ඇති බවට සලකුණු රැසක් පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත මෙම අස්ථි කොටස් යැවීමට අවශ්ය පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළේ ය .එම ස්ථානයට මේ වන විටත් පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි . එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.




