ඥානසාර හිමිගේ සිරදඬුවමට එරෙහිව අභියාචනයකට අවසර දෙනවාදැයි තීන්දුව 31 වැනිදා


( තිළිණි ද සිල්වා )


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම්  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන ලෙසට විත්තිකාර පාර්ශවය කල ඉල්ලීම  ලබන සිකුරාදා (31) සලකා බැලීමට අභියාචනාධිකරණය අද (29) තීන්දු කළේය.

මෙම ඉල්ලීම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය කරුණු දක්වමින් මෙම නඩු තීන්දුවට අදාලව මතුවී තිබෙන නීතිමය ගැටළු තුනක් පිළිබඳව තමන් කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කියා සිටියේය.


එම කරුණු තුන ලිඛිතව සූදානම් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එය අද දින තුළ මෝසමක් මාර්ගයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.


ඒ අනුව අදාළ ඉල්ලීම සලකා බැලීම ලබන තිස් එක්වනිදා සිදුකරන බව සඳහන් කළ අභියාචනාධිකරණය එදිනට ඊට අදාළව කරුණු දක්වන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාටද නියම කරන ලදී.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් 8 වනදා ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එය වසර හයකින් ගෙවිය යුතු බව නියම කර තිබුණි.


හෝමාගම හිටපු මහේස්ත්‍රාත් වරයෙකු මෙන් ම වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට  කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් ඥාණසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.


එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ 2016 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඇතුළු චෝදනා ගොනු කර තිබුණි.


නඩු විභාගයේදී චෝදනා පත්‍රය කියවීමෙන් පසුව වගඋත්තරකාර ඥානසාර හිමියන් සඳහන් කර සිටියේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු බවයි.


ඒ අනුව දීර්ඝ සාක්ෂි විභාග පැවැති අතර එහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ හෝමාගම හිටපු මහේස්ත්‍රාත් මෙන්ම කොළඹ වත්මන් ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක,  රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඇතුළු පොලිසියේ සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පාර්ශව ගණනාවක් සාක්ෂි ලබාදී තිබුණි.


විත්තිය වෙනුවෙන් වගඋත්තරකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.


මෙම නඩු විභාගයේදී ඥානසාර හිමියන් සාක්ෂි දෙමින් කියා තිබුණේ මෙම සිද්ධිය හරහා අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් වහන්සේ තුළ නොතිබූ බවයි.


රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ඇප ප්‍රතික්ෂේප වී  රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථාවේදී ඒ පිළිබඳව සංවේදී වීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ හරහා තමන් වහන්සේ අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බවද නඩු විභාගයේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

 

 

 

(36698)