( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වෙමින් වසර හයක සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිය නීතීඥවරයා මාර්ගයෙන් කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද (31) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම අභියාචනය ගොනු කිරීම ප්‍රතික්ෂේප කරන ලැබූහ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඉකුත් අගෝස්තු මස 8 වැනි දා වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එය වසර හයකින් ගෙවී යා යුතු බව නියම කළේය.
එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ඥානසාර හිමියන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මාර්ගයෙන් අභියාචනා අධිකරණයට කරුණු දක්වනු ලැබුවේය.
ඥාණසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ තීන්දුවෙ තිබුණු නීතිමය දෝෂ තුනක් තිබෙන බවත් ඒ අනුව උන්වහන්සේට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා හිමිකම් තිබෙන බව ජනාධිපති නීතිඥ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
එහෙත් එම ඉල්ලීමට එරෙහිව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ වගඋත්තරකාර පාර්ශ්ව විසින් ඉල්ලා සිටින අභියාචනා ඉදිරිපත් කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ලෙසයි
සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඥානසාර හිමියන් විසින් අභියාචනයක් ගොනු කිරීමට කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී
විත්තිය වෙනුවෙන් වගඋත්තරකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
මෙම නඩු විභාගයේදී ඥානසාර හිමියන් සාක්ෂි දෙමින් කියා තිබුණේ මෙම සිද්ධිය හරහා අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් වහන්සේ තුළ නොතිබූ බවයි.
රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ඇප ප්‍රතික්ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථාවේදී ඒ පිළිබඳව සංවේදී වීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ හරහා තමන් වහන්සේ අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බවද නඩු විභාගයේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

