ජ’පුර මරණ පරීක්ෂණවලට මුදල් අයකිරීම ගැන වෛද්‍ය සංගම් කරුණු විමසයි


බිඟුන් මේනක ගමගේ 

 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදුකරනු ලබන මරණ පරීක්ෂණවලට මුදල් අයකිරීමට එම රෝහල් කළමනාකරණ මණ්ඩලය තීරණය කළේ කවර පදනමකින් දැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාගෙන් ලිඛිතව විමසා ඇත.

 

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් කළමනාකරණ මණ්ඩලය විසින් පසුගිය ජුනි 28 වැනි දා ගත් තීරණයක් අනුව නිකුත් කරන ලද ලිපියක් මගින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදුකරනු ලබන මරණ පරීක්ෂණ සඳහා එක් මරණ පරීක්ෂණක් වෙනුවෙන් රුපියල් 2500 ක මුදලක් අයකිරීමට තීරණය කර ඇතැයි ද එම මුදල ගෙවන තුරු මෘත ශරීරය නිදහස් නොකරන බව එහි දක්වා ඇතැයි ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

 

ශ්‍රී ලංකාව තුළ රජයේ රෝහල් තුළදී මරණ පරීක්ෂණ සඳහා මුදල් අයනොකරනු ලබන්නේ යැයි ද ශ්‍රී ජයවර්ධනපුර රෝහල ද මීට පෙර එවැනි මුදල් අයකිරීමක් නොකළේ යැයි ද එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සභාපතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ. 

 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදු කරනු ලැබූ මරණ පරීක්ෂණ සිදු කරනු ලැබුවේ කලූබෝවිල රෝහලේ වෛද්‍යවරුන් හා හදිසි මරණ පරීක්ෂකවරුන් විසින් යැයි ද ඒනිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මරණ පරීක්ෂණ සඳහා මුදල් අයකිරීම තීරණය කරනු ලැබුවේ කුමන කරුණු මතදැයි පැහැදිලි කරන්නැයි ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියි.