ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් පළමු වැන්නී නිසංසලා


(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)

අ.පො.ස උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය මැදගම ජාතික පාසලේ ඩි.එම් නිසංසලා සංජිවනී සිසුවියට හිමිව තිබෙන බව ඌව පළාත් අධ්‍යපන අධ්‍යක්ෂක ආර්.එම්.පී රත්නායක මහතා පැවසීය.

මැදගම කැන්දවින්න අතිදුෂ්කර ගම්මානයේ පදිංචි නිසංසලා නොයෙකුත් බාධක මධ්‍යයේ අමතර පංති
වලට නොයා පාසල් අධ්‍යපනයෙන් පමණක් විභාගය ජයගෙන තිබේ.

කැන්දවින්න ගමේ පාසලේ අධ්‍යාපනය ලබා 6 වසර සිට මැදගම ජාතික පාසලට ඇතුළත්ව
අගහිඟකම් රැසක් මධ්‍යයේ පාසල් අධ්‍යපනයේ නිරත වු බව කියයි.

වැසිදිනවලදී පාසල් යාමට මාර්ග දුෂ්කරතා ඇතුලු අඩුපාඩු රැසක් තිබූ බව ඇය කීවාය.
 
සමෘද්ධි නිලධාරියෙකු වන ඩී.එම් උභයවර්ධන මහතා හා ගෘහනියක් වන ඩී.එම් පුංචිමැණිකා මහත්මිය නිසංසලාගේ මව්පියන් වන අතර ඇයට වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙකු සිටියි.

මැදගම ජාතික පාසලේ විදුහල්පතිනි ඩී.එම් ඉන්ද්‍රනි විජේබණ්ඩාර මහත්මිය .. ‘නිසංසලා  සංජීවනි සිසුවිය ඉතාම අහිංසකයි. ඒ වගේම කුඩා කල සිට ඉගෙන ගන්න දක්ෂයි. ඇයට ආර්ථිකය අතිනුත් අසරණයි.. ජයග්‍රහණය අහලා මට අද ගොඩක් සතුටුයි..‘ යැයි පැවසුවාය.