ජේ. ශ්‍රී රංගා ඇතුළු 6 දෙනාට ඇප


(  සිතුම් චතුරංග සහ උපාලි ආනන්ද )
           
රිය අනතුරක් සම්බන්ධ චෝදනා ලැබ සිටි  හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.ශ‍්‍රි රංගා මහතා , විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් නිලධාරීන් සිව්දෙනා  රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස වවුනියාව මහධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා අද (16) නියෝග කළේය.
 
හිටපු මන්ත්‍රීවරයා සිය  නිල රථයෙන් ගමන් කරද්දී  2011 වසරේදී වවුනියාව සෙට්ටිකුලම ප‍්‍රදේශයේදී  සිදු වූ රිය අනතුරකින් ප‍්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මියයෑම සිද්ධියක් සම්බන්ධයෙන්  මන්ත්‍රීවරයා චෝදනා ලැබ  සිටින අතර , එම සිද්ධියේ තොරතුරු වසන් කරමින්  ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකර සැකකරුට පලායාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වවුනියාව මහධිකරණයේ අධි චෝදනා ලැබ සිටි විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනාට  චෝදනා ලැබ සිටිති.
 
සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත්කළ මහධිකරණ විනිසුරුවරයා සැකකරුවන්ගේ විදෙස්ගමන් බලපත‍්‍ර අධිකරණය භාරයේ තබන ලෙසටද නියම කළේය.
 
මෙලෙස ඇපමත මුදා හැරුණේ නුවරඑළිය දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.ශ‍්‍රිරංගා මහතා සහ හිටපු වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී අමරසිරි සේනාරත්න (විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති) ,වවුනියාව හිටපු  සහකාර පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර බණ්ඩාර(විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී)  , හිටපු සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති හා  හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව , පොලිස් සැරයන් ප‍්‍රියදර්ශන හේරත් හා පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.ජි.පද්මපාල යන නිලධාරීන් වේ.
 
සැකකාර ජේ ශ‍්‍රීරංගා මහතා ඇතුළු සැකකරුවන් පිරිස වෙත අද අධිචෝදනා භාරදීමද සිදුකළ අතර එහිදී ජේ.ශ‍්‍රීරංගා මහතා වෙත අධිචෝදනා හතරක් හා සැකකාර පොලිස් නිලධාරීන් වෙත අධිචෝදනා අටක් විවෘත අධිකරණයේදී කියවා භාරදෙනු ලැබීය.
 
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.ශ‍්‍රී රංගා මහතාට සාවද්‍ය මනුෂ්‍යඝාතනයක් සිදුකිරීම , ලියාපදිංචි නොකළ ජීප්රථයක් පැදවීම , අනතුරක් වලක්වානොගැනීම හා අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම යන අධිචෝදනා ඉදිරිපත් කොට ඇති අතර සැකකාර පොලිස් නිලධාරීන් වෙත සිදුවීම සම්බන්ධයෙන් චෝදනා වසන් කිරීම , රියඅනතුරක් පිළිබද අසත්‍ය තොරතුරු වාර්තා කිරීම , බිය වැද්දීම ඇතුඵ අධි චෝදනා අටක් භාරදී තිබේ.
 
            
2011 මාර්තු 30 වැනිදා සවස රංගා මන්ත‍්‍රීවරයා තම පෞද්ගලික කටයුත්තක් සදහා මැදවච්චිය සිට සෙට්ටිකුලම මැණික්ෆාම් ප‍්‍රදේශයට ගමන්කරමින් සිටියදී තම ලියාපදිංචි නොකළ ජිප් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව සෙට්ටිකුලම රෝහලෙහි තාප්පයේ ගැටී රියදුරු අසුනට වම්පස සිටි සැරයන්වරයා වූ අලව්ව, නවතල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන් (36759) ජි.උදය ජයමිණි පුෂ්පකුමාර නිලධාරියා මිය ගියේය.

අදාල අනතුරු සිදුවන අවස්ථවේදී රිය පදවා ඇත්තේ මිය ගිය සැරයන්වරයා බවට එවකට සිටි පොලිස් නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තාකොට නඩු විභාගය අවසන්කොට තිබූණි.
 

නඩු තීන්දුවේදී තමන්ට අසාධාරණයක් වී ඇති බවට මියගිය සැරයන්වරයාගේ ඥාතීන් විසින් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත පැමිණිලි කිරිමෙන් අනතුරුව පොලිස්පතිවරයාට දැණුම්දීමෙන් අනතුරුව එම පරීක්ෂණ පිළිබද වවුනියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට විමර්ශන සිදුකරන ලෙස නියෝග ලබාදී තිබුණි.