ජිප්සීස් නායක සුනිල් පෙරේරාට ජනපති - අගමැති සොව පළ කරති


( තිළිණි ද සිල්වා)

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා ගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ෆේස්බුක් නිල ගිණුම් ඔස්සේ සිය සංවේගය පළ කර සිටිති.

සිය නිල ෆේස්බුක් ගිණුම් ඔසසේ සටහනක් තබමින් සිය ශෝකය පළ කරන ජනාධිපතිවරයා මෙසේද සදහන් කර ඇත.

''කණ්ඩායම් සංගීතයේ නව පෙරළියක් ඇති කරමින්, අදටත් එක සේ ජනප්‍රිය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රට දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව මාගේ සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටිමි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් සටහනේ මෙසේද සදහන් කර ඇත.

''ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳ අසා මම මහත් කනගාටුවට පත්වුණෙමි. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයහි ප්‍රබල භූමිකාවක් නිරූපනය කළ හෙතෙම, තමන් විශ්වාස කරන අදහස් උදහස් වෙනුවෙන් පෙනී සිටීමට ද කිසි විටක පසුබට වූයේ නැත.

මෙරට ප්‍රාසාංගික වේදිකාවට සුනිල් පෙරේරා නොමැති අඩුව තදින්ම දැනෙනු ඇති අතර සිය සංගීත නිර්මාණ ඔස්සේ හැමදාමත් ඔහු අප අතර ජීවමාන වනු ඇත. ඒ මහතාගේ අභාවය නිසා ශෝකයට පත් පවුලේ සැමටත් රසික ජනතාවටත් මගේ සංවේගය ප්‍රකාශ කරමි. සුනිල් පෙරේරා කලාකරුවා පැතූ ආත්ම විමුක්තිය හිමි වේවා!

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටි ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා දින කිහිපයකට පෙර සුවය ලබා නිවසට ගිය අතර යළි ඇතිවූ හදිසි රෝග තත්වයක් හේතුවෙන් ඊයේ (5) යළිත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය.