ජාතික නිදහස් පෙරමුණ - පිවිතුරු හෙළ උරුමය අතර ගිවිසුමක්


(විනීතා එම් ගමගේ)

ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය ශක්තිමත් කර ශ්‍රී ලංකා රාජ්‍යය බලගැන්වීම මගින් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට  ඡන්දය ලබාදුන් හැටනම ලක්ෂයක ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට නව රජය තුළ කටයුතු කරන බවට සපථ කෙරෙන පස් වැදෑරුම් ප්‍රතිඥාවක් සහිත ගිවිසුමක් ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය විසින් අස්සන් කරනු ලැබ ඇත.

කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොහොට්ටුව ලකුණින් තරඟවදින ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල යන මහත්වරුන් මෙම පස්වැදෑරුම් ප්‍රතිඥාව අත්සන් කරනු ලැබූයේ  බත්තරමුල්ල, පන්නිපිටිය, 123/2 යන ස්ථානයේ පිහිටි විමල් වීරවංශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දීය.

වහාබ් අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන බවටත් කිසිඳු අවස්ථාවක වහබ්වාදී අන්තවාදීන් මත යැපෙන රජයක පාර්ශ්වකරුවන් නොවන බවටත් එමගින් ප්‍රතිඥා දී තිබේ.

මාතෘ භූමිය සහ ස්වෛරීත්වය රැක ගැනීම වෙනුවෙන් තම ජීවිත පරදුවට තබා ක්‍රියා කළ රණවිරුවන් ගෝලීය බෙදුම්වාදීන්ගෙන් රැක ගැනීමට එදා මෙන් අදත්, අද මෙන් හෙටත් ඇපකැප වී සිටින බවට ප්‍රතිඥාදෙන බවටත්, ඇමරිකානු බල ව්‍යාප්තවාදය සහ බටහිර අධිරාජ්‍යවාදය මෙරටට පැමිණෙන්නේ කුමන මුහුණුවරකින් වුවද එය වැළැක්වීම උදෙසා සටනට නායකත්වය දෙන බවටත් එම ප්‍රතිඥාවේ සඳහන්ව ඇත.

උපාය මාර්ගික වශයෙන් වැදගත් ජාතික සම්පත් සුරකිමින් ජාතියේ දූ පුතුන් ඉදිරියට රැගෙන ආ නව නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය කරමින් ඔවුන් බල ගැන්වීම ඉදිරි රජයක කාර්යභාරයක් බවට පත්කිරීමට හැකි සියල්ල ඉටුකරන බවට ද ඉතිහාසයකට උරුමකම් කියන රටක ප්‍රෞඪ වර්තමානයක් සහ අනාගතයක් බිහි කරනුවස් දේශීයත්වයට පණදෙන අර්ථ ක්‍රමයක් මෙරට නැවත ස්ථාපනය කිරීමට නව ජයක් තුළ අපට ලබා දෙන වගකීම් භාවිතා කරන බවටත් සහතික කර ඇති එම ප්‍රතිඥාවේ ඉහත සඳහන් සියලු ප්‍රතිඥා ඒ අයුරින්ම ඉටුකිරීමටත් එමෙන්ම රාජ්‍ය නායකත්වය සහ නව රජය මේ සඳහා යොමු කිරීමටත් උපරිමයට එහා ගිය දැවැන්ත ශක්තියක් යොදවන බවට නැවත නැවතත් අභිමානවත් ජාතියක සුජාත පුතුන් ලෙස ප්‍රතිඥා දෙන්නෙමු යැයි ද සඳහන් ව ඇත.

එම ගිවිසුම අස්සන් කිරීමෙන් පසු අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ, මෙවර මහ මැතිවරණය ඓතිහාසික පසුගිය ජනාධිපතිවරණයත් සපල කර ගැනීමේ අරමුණින් යුතු පාර්ලිමේන්තුවක් බිහිකරගන්නා මැතිවරණයක් බවට පත් කරගතයුතු බවය.

ජනතාව ලක්ෂ හැටනවයකට වැඩි ප්‍රමාණයක් ඡන්දය දී ගෝඨාභය මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරගත්තේ ඉතා සුවිශාල බලාපොරොත්තු සහිතව බවත් එක් පැත්තකින් ඔවුන් ඡන්දපොළට පැමිණියේ අන් කවරදාකවත්  නොදුටු තර්ජනයක් හිස මත රඳවාගෙන බවත් කී ඒ මහතා ඒ ජාතික ආරක්ෂාවේ අවදානම යැයි ද කීය.

එවැනි අන්තවාදයකට බලපා ඇති පරිසරය සහ එය නැති කිරීමේ අවශ්‍යතාව, මෙන්ම රටේ ජාතික ආර්ථිකය විදේශීයකරණයකට ලක් වෙමින් තිබු බැවින් ඊනියා ප්‍රතිසංස්කරණ මඟින් රාජ්‍යයට තීරණ ගැනීමට බැරි වීමේ ක්‍රියාදාමය නතර කරලා රාජ්‍ය බල ගැන්වීමේ ක්‍රියාදාමයකට යාම ජනතාවගේ පොදු පරමාර්ථය වී යැයි ද හෙතෙම කියා සිටියේය.

මේ සියල්ල ඉටු කිරීමට ජනාධිපතිවරයාට හැකිවන්නේ ඉදිරි පාර්ලිමේන්තුව තුළ ඒ අභිලාෂයන් වෙනුවෙන් කැපවෙන, ඒ පිළිබඳව විශ්වාසයෙන් යුතුව කටයුතු කරන මහජන නියෝජිතයන්ගෙන් සම්පුර්ණ වීම තුළ බවත් එසේ නොමැති නම් වෙන්නේ 69 ලක්ෂයේ ජනතාවගේ බලාපොරොත්තු සහ ගොඩනැගෙන පාර්ලිමේන්තුවේ අභිලාෂයන් අතර පරස්පර විරෝධයක් මතු වීම බවත් ඔහු සඳහන් කළේය.

සෑම අපේක්ෂකයකුගෙන්ම මේ හා සමාන හා මීටත් වඩා ඉදිරියට ගිය ප්‍රතිඥාවක් මේ රටේ පොදු ජනාතව හමුවේ තැබිය යුතුයැයි කී විමල් වීරවංශ මහතා එවැනි බැඳීමකින් යුතුව පත්වෙන මහජන නියෝජිතයන්ට ඒ මහජනතාවගේ අභිලාෂයන්ට අනුව කැපවීමෙන් යුතුව කටයුතු කිරීමට ඇති හැකියාව වැඩි බැවින් මෙසේ ගිවිසුමකට එළැඹීමට තීරණය කළ බව ද හෙතෙම කියාසිටියේය.

එහි දී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියා සිටියේ වසර පහකුත් මාස පහකට පෙර 2015 පෙබරවාරි 18 දින මහින්ද සුළඟ අරඹමින් පැවති ආණ්ඩුවට එරෙහිව දැවැන්ත වෙඩි මුරයක් තැබී යැයි ද එදා තිබු ලෝක බලවතුන්ගේ ආශිර්වාද ලැබූ සියලු පක්ෂවල සහය ලැබුණු ආණ්ඩුවක් සමඟ හැප්පීම පවා කලුගලේ ඔළුව ගසා ගැනීමක් ලෙස සමහරු ඇදහූ බවත් ගම්මන්පිල මහතා කීය.

එසේ තිබිය දී තමන් කලුගලේ ඔළුව ගසාගත් බවත් මේ වනවිට කලුගල් පුපුරා හැලීගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

අද අපේ ආණ්ඩුවක් පත් වී තිබෙන නිසා අන් කාටත් වඩා විමල් වීරවංශ මහතා සහ තමන්ගෙන් එදා ලබාදුන් ප්‍රතිඥාවන් මේ ආණ්ඩුව ඉටු කරන බවට තමන් වගබලා ගනී යැයි යන විශ්වාසය මේ රටේ ජනතාව තුළ ඇතැයි ද  ඒ විශ්වාසය ලේඛනයක් බවට පත් කිරීම මේ අවස්ථාවේ සිදුකළේ යැයි ද ඔහු පැවැසීය.

එදා විපක්ෂයේ දී කළ සටන ආණ්ඩුව තුළත් ඒ ලෙසම කරාවි යැයි අහස උසට බලාපොරොත්තු තබාගෙන සිටින ජනතාවට ‘ඔව් අපි ඒ දේ ඒ ලෙසටම කරනවා’ යන ප්‍රතිඥාව ලිඛිතවම ලබා දුන්නේ යැයි ද ඉදිරි වසර පහ පුරාවටම තමන් ඒ ප්‍රතිඥාවේ රැඳී සිටින බවට සාමූහිකව සමස්ත ජාතියටම ප්‍රතිඥාවක් විදිහට ලබා දෙන්නේ යැයි ද ගම්මන්පිල මහතා කීය.