ජාතික ගීය දෙමළෙන් ගයයි?


‘ශ්‍රී ලංකා මාතා .. අප ශ්‍රී ලංකා ... නමෝ නමෝ නමෝ මාතා .... ‘ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනයට ඉඩ දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති  සියලු ආයතනවලට චක්‍රලේඛයක් නිකුත්  කිරීමට නියමිතය.

ජනපතිගේ මේ  තීරණය අනුව 2010 සිට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනය සම්බන්ධයෙන් පනවා තිබු නිල නොවන තහනම ඉවත් කෙරෙනුයේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා ජාතික විධායක සභාවේදී අඟහරුවාදා  ඉදිරිපත් කළ යෝජනාවක්  අනුවය.

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට නොහැකි බව කියමින් මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ස්වදේශ ඇමැති ජෝන් සෙනවිරත්න මහතා 2010 දෙසැම්බර් 12 වැනිදා ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළේය.

මහින්ද රාජපක්ෂ ජනපති ඊට නිල වශයෙන් ප්‍රතිචාරයක් නොදැක්වු නමුත් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට රජය කැමැත්තක්  නැති බවට මතයක් පළ විය.

මහින්ද රාජපක්ෂ රජයේ හිටපු  රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නායක්කාර මහතා ඒ දිනවල කියා සිටියේ ජාතික ගිය දෙමළෙන් ගායනයට ඉඩ දිය යුතු බවයි.

එහෙත් ඔහුගේ ඉල්ලීමට ඉඩ නොලැබිණි.ජාතික ගීයේ නිර්මාතෘවරයා ආනන්ද සමරකෝන් මහතාය.