ජාතික ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරග නොවැම්බරයේදී


ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ඉල්ලීමක් සලකා බලමින් 38 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා  තරගාවලිය නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ජාතික ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ඉසව් ලබන නොවැම්බර් 30, දෙසැම්බර් 1, 2 යන දිනවල කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට දැන් තීරණය කර ඇතැයි ‘ලංකාදීප’ය කළ විමසුමකදී ක‍්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා පැවැසීය. ඒ මහ ක‍්‍රීඩා උළෙලේ සෙසු සියලූ ක‍්‍රීඩා ඉසව් පවත්වා අවසන් කෙරෙන බවත් ඒ මහතා පැවැසීය. මේ වසරට නියමිත 32 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙල මීට පෙර අවස්ථා දෙකකදීම කල් දැමීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය. මුලින්ම ජාතික ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට යොදාගෙන තිබුණේ ලබන අගෝස්තු 24, 25, 26 යන දිනවල අනුරාධපුරය ජාතික ක‍්‍රීඩා සංකීර්ණයේදීය. එහෙත් එම දිනවල කොළඹදී යෙදෙන ආසියානු දැල්පන්දු ශූරතාවලිය සැලකිල්ලට ගත් ක‍්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක‍්‍රීඩා උළෙල සැප්තැම්බර් 7, 8, 9 යන දිනවලට කල් දමනු ලැබීය. මලල ක‍්‍රීඩා සංගමයේ ඉල්ලීමක් සලකා බලමින් නැවත වතාවක් ක‍්‍රීඩා උළෙල කල් දැමීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ලබන පෙබරවාරි මාසයේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ තේරීම් තරගාවලියක් ලෙස යොදා ගැනීම සඳහා ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ඉසව් ලබන දෙසැම්බර් කාලසීමාවේදී පැවැත්වීම වඩාත් යෝග්‍ය බව මලල ක‍්‍රීඩා සංගමය පෙන්වා දී ඇතැයිද වාර්තාවේ. සාග් ක‍්‍රීඩා උළෙල ළංවෙද්දී ඒ වෙනුවෙන් තවදුරටත් විශේෂ තේරීම් පවත්වා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙහෙසට පත් කරනවාට වඩා මෙම ප‍්‍රධාන තරගාවලි තේරීම් තරග ලෙස සලකමින් ශ්‍රී ලංකා සාග් මලල ක‍්‍රීඩා සංචිතය තේරීම් වඩාත් සුදුසු බව එහිදී මලල ක‍්‍රීඩා සංගමය අවධාරණය කර ඇතැයිද වාර්තාවේ.