ජාතික එල්ලේ ශූරයන්ට තෑගි පිට තෑගි


ජාතික එල්ලේ තරගවාලියේදී පළමු වතාවට සුපිරි තෑගි රැසක් ප‍්‍රදානය කිරීමට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය කටයුතු යොදා තිබේ. ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන මෙවර ජාතික එල්ලේ ශූරතාවලියේ ජයග‍්‍රාහි කණ්ඩායමට රුපියල් 250,000ක් පිරිනැමෙන අතර තරගාවලියේ වීරයාට යතුරුපැදියක් හිමිවේ. ජයග‍්‍රාහි කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයන්ට මවුන්ටන් පාපැදිය බැගින්ද පිරිනැමේ. තරගාවලියේ අනුශූරයන්ට රුපියල් ලක්‍ෂයක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 50,000ක්ද ප‍්‍රදානය කෙරෙන අතර ජයග‍්‍රාහි කණ්ඩායමට ”සී.එස්.එන්” අභියෝගතා ශූරතා කුසලාන ප‍්‍රදානය කෙරේ. මෙවර තරගාවලියේ අවසන් මහ තරගය සී.එස්.එන් රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ. වසරේ පැවැත්වෙන ප‍්‍රධානතම එල්ලේ තරගවලිය වන ජාතික එල්ලේ තරගාවලියේ මේ වන විට අවසන් වටයට පිවිස සිටින කණ්ඩායම් 16ට නිල ඇඳුම් ප‍්‍රදානය කිරීමත් මෙවර තවත් විශේෂත්වයකි. ජාතික එල්ලේ තරගාවලියේදී පළමු වතාවට මේ තරම් තෑගි ලබාදෙන්නේ එල්ලේ සම්මේලනයේ වත්මන් සභාපති පළාත් සභා මන්තී‍්‍ර ආනන්ද අතුකෝරල මහතාගේ මැදිහත්වීම මත බව එහි ලේකම් සිරිපාල රණසිංහ මහතා පවසයි. අවසන් වටයේ තරග ලබන ඉරිදා (8) සිට ජාඇල කෲස්වත්ත ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වේ. මේ අතර අවසන් මහා තරගයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි කරගැනීමට සංවිධයකයෝ අපේක්‍ෂා කරති. ගිය වර ශූරතාව දිනාගත් ජොසිටාවත්ත රශ්මි හා අනුශූරතාව ලද තොටලඟ අරුණ යන කණ්ඩායම් මෙවරත් එම බලාපොරොත්තු රඳවා ගනිමින් අවසන් වටයේ කණ්ඩායම් 16ට තේරී සිටිති.