ජලයට විසක් එක්වී යැයි ගිරිඋල්ලේ පාසලක් වහයි


(හේමලතා ඩී හේවගේ )

ගිරිඋල්ල අධ්‍යාපන කළාපයට අයත් වඩුමුන්නේගෙදර ප්‍රාථමික විද්‍යාලයේ පිහිටි ළිඳට  සැකකටයුතු විස ද්‍රාවණයක් එකතුවී ඇතැයි සැකයක් මත  පාසල අද (28) වසා දැමීමට  අධ්‍යාපන බලධාරීන් කටයුතුකර ඇත.
 
විද්‍යාලයේ  මුරකරු විසින් මල් ගස්වලට ජලය දැමීම සිදුකරන අවස්ථාවේ  ජලයෙන් වහනයවූ  ගදක් සමඟ ඇතිවූ සැකය මත  ළිඳට එබී  බැලීමෙන්  එහි ජලය සුදුපැහැ ගැන්වී ඇති අයුරු දකින්නට ලැබුණි.
 
 සිසු සිසුවියන් 175 ක් අධ්‍යපනය ලබන  මෙම පාසලේ ආචාර්ය මණ්ඩලයද 08 දෙනෙකුගෙනද සමන්විත වන අතර මෙම සිදුවීම සැලවීමත් සමඟ  දරුවන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් විද්‍යාලයට එක් රොක්වී සිටියහ.
 
මේ පිළිබඳව විදුහල්පති ජී ආර් මුණසිංහ මහතා අදහස් දක්වමින්  මෙසේ කීවේය. ‘අද උදේ පසලේ  මුරකරු මේ පිළිබඳව මට දැනුම් දුන්නා . මම වහාම මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කරලා දරුවන් පාසලෙන් ඉවත්කිරීමට කටයුතු කළා. පොලීසියට මේ පිළිබඳව දැනුම් දුන්නා .මේ වෙද්දි  ජල සාම්පල් රජයේ රසපරීක්ෂක වෙත යොමුකිරීමට පොලීසිය කටයුතු කරලා තියෙනවා.