ජලභීතිකා රෝගය යළි පැතිරීමේ අවදානමක්



(සිරංගිකා ලොකුකරවිට)
 
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ජල භීතිකා මර්ධන වැඩසටහන වසර දෙකක කාලයක සිට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතට පත්කර තිබීම හේතුවෙන් සුනඛයන් එන්නත් කිරීම නිසි පරිදි සිදු නොවන බවත් මේ හේතුවෙන් රටපුරා ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ දැඩි අවධානමක් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගේ සංගමය පවසයි.
 
සංඛ්‍යලේඛන දත්ත අනුව 2018 වර්ෂයේ දී මේ වනවිට ජලභීතිකා මරණ 13ක් වාර්තා වී ඇති අතර 2017 දී ජලභීතිකාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20ක් බව පෙන්වා දෙයි.
 
එම සංගමයේ ලේකම් සී.එම්.එම්.බාලසූරිය මහතා පවසන්නේ දැනට වසර දෙකකට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යටතේ තිබූ ජලභීතිකා මර්ධන වැඩසටහන කැබිනට් පත්‍රිකාවක් මගින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පවරා දුන් බවයි. 
 
මේ හේතුවෙන් එතෙක් දිස්ත්‍රික්ක 25හි ම ක්‍රියාත්මක වූ සුනඛයන් එන්නත් කිරීම හා ගහනය පාලනය කිරීම අතරමග නැවතී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම වැඩසටහනට අනුයුක්ත කර පුහුණුව ලබා තිබූ සේවකයන් දැන් අවශ්‍ය සේවාව ලබා නොගෙන වෙනත් කාර්යයන්හි යොදවා ඇති බව ද බාලසූරිය මහතා පෙන්වා දෙයි.
 
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
 
''ජලභීතිකා මර්ධන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඉතා හොඳින් ක්‍රියාත්මක වුණා. නමුත් දැන් මෙය තිබෙන්නේ සත්ත්ව නිෂ්පපදාන සහ සෞඛ්‍ය අදපාර්තමේන්තුවට. දැන් එය කාර්යක්ෂමව සිදුවෙන්නේ නැහැ. ඔවුන්ට මේ සඳහා පුහුණු නිලධාරීන් ද නැහැ. මේ හේතුවෙන් දැන් ජලභීතිකා රෝගය යළි හිස ඔසවමින් තිබෙන බව පෙනෙනවා. සුනඛයන් එන්නත් කිරීම හා ගහනය පාලනය කිරීමේ වැඩසටහන අක්‍රිය වෙලා. "
 
 
මේ සමිබන්දව අදහස් දක්වමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් හෙට්ටිආරච්චි මහතා මෙසේ පවසයි.
 
"මේ අවුරුද්දේ මැද භාගයේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛය දෙපාර්තමේන්තුවට ජලභීතිකා මර්ධන වැඩසටහන භාර වෙන්නේ. පසුගිය මාස තුනහමාරක් වගේ සක්‍රීය කාලයකදී ශ්‍රී ලංකාවේ පශු වෛද්‍ය කාර්යාල 328ක් තුළ අපේ පශු වෛද්‍ය නිලධාරනේගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉතාමත්ම ඉහළ තාක්ෂණයෙන් යුතුව ප්‍රතිශක්තීකරණ කටයුතු සිදුවෙනවා. මේ වනවිට සතුන් ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක්ක ප්‍රතිශක්තීකරණය කරලා තිබෙනවා. සතුන් 27,000ක් පමණ වඳභාවයට පත්කර තිබෙනවා."
 
 "2020 වනවිට ජලභීතිකාව ශ්‍රී ලංකාවෙන් තුරන්කිරීම අපේ අරමුණයි. සුනඛ ගහනයෙන් සියයට 80කට පමණ ප්‍රතිශක්තීකරණ එන්නත මේ වසරේ දී ලබාදීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය දශක කිහිපයක් පුරා මියගිය අයගෙන් සියයට 30කට වඩා වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 15ට වඩා අඩු ළමයි. තමන්ගේ නිවසේ සිටින සුනඛයා එන්නත් කරවීමටත් එම සුනඛයා හැර වෙනත් කිසිම සුනඛයකු ඇල්ලීම හෝ කෑම දීම නොකකළ යුතු බවටත් දැනුවත් වී සිටිය යුතුයි.  පශු වෛද්‍ය කාර්යාලවලින් නොමිලයේ මේ එන්නත ලබාගන්න පුළුවවන්. අපි ක්ෂේත්‍ර නිලධාරීන් කණ්ඩායම් යොදවා සුනඛයන් එන්නත් කිරීමත් කරනවා."