ජපුර සිසුවාගේ සිද්ධියට සිසුන් 15 දෙනෙකුට පන්ති තහනමක්


(ඉන්දිකා රාමනායක)

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  සිසුන්  පිරිසක් පැවැත් වු සාදයක් අතරතුර  අනතුරට ලක්ව සිසුවකු තුවාල ලැබීමේ සිද්ධියක් මුල්කරගෙන ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ සිසුන් 15 දෙනකුට තාවකාලික පන්ති තහනමක් පැන වු බව  එම විශ්ව විද්‍යාල පවසයි.

මෙම  සිද්ධිය සම්බන්ධයනේ  විශ්ව විද්‍යාලයේ පාලක සභාව  ඒකමතිකව ගත් තීරණයක් අනුව  ඊයේ  (12) සිට මෙම  තාවකාලික  පන්ති තහනම පැනවු බව  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  වැඩබලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත  ලියනගේ මහතා ලංකාදීපයට පැවසීය.

මෙම පිරිස අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර සිටින සිසුන්  6 දෙනා ද වන බව  උපකුලපතිවරයා කියා සිටියේය.

ඉකුත් (9) දින රාත්‍රියේ පැවැති මෙම සාදය පැවැත්වෙන අතර තුර  කිසියම්   සිසුවකු ඉහළ මහලේ සිට  පඩිපෙළ දිගේ   එවා තිබු  ටයරයක්   ඇගේ  වැදී   බිම වැටී හිස තුවාල  වු සිසුවකු  බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  විශ්ව විද්‍යාලය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර,  පොලිසිය ද පරීක්ෂණ ආරම්භ කර  ඇත.