(බිඟුන් මේනක ගමගේ )
ජපානයේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කළ සිසුන් තිදෙනාගේ දෙවැනි වසර සඳහා රජයෙන් මුදල් වෙන් නොකිරීම නිසා ඔවුන්ට ද පෙරලා ලංකාවට පැමිණීමට සිදුව ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
සමාජ ආරක්ෂණ අරමුදලෙන් මුදල් ප්‍රදානය කෙරෙන පරිදි සිසු සිසුවියන් විස් පස් දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දෙන බව කියමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ මෙම විදෙස් ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය පාරදෘශ්‍යභාවයෙන් තොරවීම නිසා එම සිසුන්ට වීසා අවසරය නොලැබීමෙන් අතර මඟ නතර විය.
ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට බාහිර සමාගම් සම්බන්ධ කරගැනීමට යාමේදී සිදු වූ වංචාවක් නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද සමාජ සුබසාධන හිටපු ඇමැති එස්.බී දිසානායක මහතාගේ මූලිකත්වයෙන් දියත් කළ ව්‍යාපෘතියක් නිසා වත්මන් විෂය භාර ඇමැති පී.හැරිසන් මහතා ඊට මැදිහත් නොවී සිටින්නේ යැයි ද එම ප්‍රකාශකයා කීය.
එක් සිසුවකුට රුපියල් ලක්ෂ 18 බැගින් රුපියල් කෝටි හතරහමාරක මුදලක් වෙන් කර ඇති බව සඳහන් වූ මෙම ව්‍යාපෘතිය සමාජ සුබසාධන හිටපු ඇමැති එස්.බී දිසානායක මහතාගේ මූලිකත්වයෙන් දියත් කළ අතර ඊට සුදුස්සන් තෝරාගත්තේ 2017පෙබරවාරි 13 දින පුවත් පත් දැන්වීමක් පළ කර සමෘද්ධිලාභී පවුල්වල දරුවන් කැඳවා පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයකිනි.
එසේ තෝරාගත් දරුවන් අතරේ උසස් පෙළට ජපන් භාෂාව විෂයක් ලෙස හැදෑරූ සය දෙනෙකු සිට ඇති අතර ජපානයට මෙසේ පිටත් කර ඇත්තේ ඔවුන්ගෙන් භාෂා ප්‍රවීණතාව වැඩිම තිදෙනා යැයි එම ප්‍රකාශකයා කීය.
උසස් පෙළට ජපන් භාෂාව විෂයක් ලෙස හදාරා නොතිබූ 19 දෙනාට මහනුවර නිල්ලඹ සමෘද්ධි පුහුණු මධ්‍යස්ථානයේ මාස දෙකක කාලයක් තිස්සේ නේවාසික පුහුණුවක් ලබා දී තිබිණ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ දරුවන් පිරිස සමාජ සුභසාධන ඇමැති පී.හැරිසන් මහතාට පැමිණිලි කර ඇතත් එය හිටපු ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් සිදුවූවක් යැයි පවසා විෂයබාර ඇමැතිවරයා වගකීමෙන් නිදහස් වී යැයි එම දරුවෝ ‘ලංකාදීපය‘ට පැවසූහ.
මෙම ව්‍යාපෘතිය මගින් සිසුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු අතරමග බිඳ වැටී ඔවුන් මානසික පීඩාවට ලක්ව ඇතැයි කියමින් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය ද සමාජ සුභසාධන ඇමැති පී.හැරිසන් මහතාට පැමිණිල්ලක් කර ඇත

