ජනාධිපති කොමිසන් සභාව නීතිපතිවරයාට සිතාසි නිකුත් කරයි


(රංජන් කස්තුරි)

දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කරන ජනාධිපති කොමිසන් සභාවේ ලේකම්වරයා උසාවිය ඉදිරියේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කිරීම ජනාධිපති කොමිසන් සභාවට අවමන් කිරීමක් වන අතර ඊට හේතු දැක්වීමට මේ මස 11 වැනිදින පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ජනාධිපති කොමිසන් සභාව අද (06) නීතිපතිවරයා සිතාසි නිකුත් කර තිබේ.

ජනාධිපති කොමිසන් සභාවට ලැබුණු වාර්තාවක් හෝ තොරතුරු සභාවට ලැබුණු වාර්තාවක් හෝ තොරතුරු කොටසක් හෝ ඉල්ලා සිටීමට ආයතනයකට හෝ පුද්ගලයෙකුට නෛතික හැකියාවක් නැතැයිද එම වාර්තා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන තෙක් රහස්‍ය වාර්තා ලෙස පවත්වාගෙන යායුතු බව නීතිපතිවරයාට සිතාසි නිකුත් කරමින් ජනාධිපති කොමිසන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කර ඇති නියෝගයේ සඳහන් වේ.

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ජනාධිපති කොමිසන් සභාවට ඉදිරිපත් කර තිබූ දේශපාලන පළිගැනීම් සම්බන්ධ පැමිණිල්ලට අදාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබූ ලිපිගොනු කිහිපයක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය කොමිසන් සභාවේ ලේකම්වරයාට දැනුම් දී තිබිණි.

කොමිසන් සභාවේ තොරතුරු ලේඛන , ඕඩියෝ සහ වීඩියෝ ඉදිරිපත් කරන ලෙස බලකරමින් කොමිසන් සභාවේ නිලධාරීන්ට සිතාසි කිරීමට කිසිඳු නීතියකින් හෝ රීතියකින් විධානයකින් බලයක් නොමැති බව ජනාධිපති කොමිසන් සභාව අද නියෝගයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.