ජනපතිට දන්වන්න අල් සබාත් කුමරු ජෙට් යානයකින් දිවයිනට


ආසියානු ඔලිම්පික් සභාවේ සභාපති ෂේක් අහම්ඞ් ෆාඞ් අල්සබාත් රජකුමරා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා මෙම 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. කුවේට් රජ පවුලේ සාමාජික අල්සබාත් රජකුමරා ඔහුට අයත් පෞද්ගලික ජෙට් යානයකින් ආසියානු  ඔලිම්පික් සභාවේ නියෝජිතයන් පිරිසක් සමග දිවයිනට ළඟාවන්නේ වසර 2017 දී පැවැත්වෙන ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ප‍්‍රදානය කිරීම නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම  සඳහා බව ද වාර්තාවේ. එහිදී ඔහු  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම 14 වැනිදා  මුණ ගැසී විශේෂ සාකච්ඡාවකට ද සහභාගිවීමට සුදානමින් සිටින බව ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය ප‍්‍රකාශක බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි. එහි සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා කුවේට් රාජ්‍යයේ පිහිටි ආසියානු ඔලිම්පික් සභා මුලස්ථානයේ දී අල්සබාත් කුමරා ඇතුළු එහි විධායක සභාව සමග කළ සාකච්ඡාවකින් පසු ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයකට කැමැත්ත පළකර තිබේ. චිනයේ දී මෙම 16 වැනිදා ආරම්භ වන ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලට සහභාගිවීම සඳහා පිටත්ව යන ගමන් ඔහු මෙසේ ශ්‍රී ලංකාවේ දින දෙකක සංචාරයකට සහභාගිවීමට නියමිතය. අල්සබාත් කුමරා කුවේට් රජයේ අමාත්‍යධුර කීපයක් ද දරා ඇත. ඔහු ආසියානු කී‍්‍රඩා සභාවේ හා ආසියනු හැන්ඞ්බෝල් සංගමයේ සභාපති ධුරද දැනට උසුලයි.