මුදිතා දයානන්ද
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරිමට සැලසුම් කළ බවට ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රධානියාට එල්ලවන චෝදනාව බරපතල බැවින් ඒ පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කර වැරදි කරුවන් නීතිය හමුවට පැමිණ වීම පොලිසියේ වගකීමක් යැයි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (17) පැවසීය.
රණවක මහතා මෙසේ පැවසූයේ බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී නාමල් ගුණරත්න නමැත්තකු විසින් ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රධානියාට එල්ල කර තිබෙන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි තවදුරටත් අදහස් දැක්වු රණවක මහතා මෙසේද පැවසීය.
‘‘මේ චෝදනාව එල්ල කරන පුද්ගලයා පොලිස් ඔත්තුකරුවෙක් බව ඔහුම පිළිගෙන තිබෙනවා. අපි දන්නේ නැහැ මේවායේ සත්‍ය අසත්‍යතාව. මේ ඔත්තුකරුවා ඉදිරිපත් කරන චෝදනාව සත්‍ය නම් මේ කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි. එය බොරුවක් නම් එවැන්නක් පවසා රට කැළඹීමට පත් කිරීමට උත්සාහ දැරීම හා පොලිස් නිලධාරියෙකුට අසත්‍ය චෝදනා නැගීම සම්බන්ධයෙන් එය ඉදිරිපත් කළ තැනැත්තා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්ම කළ යුතුයි. දැනටමත් මේ ප‍්‍රශ්නය විසඳීමට ගත් කාලය වැඩියි. ඒ කටයුතු ඉක්මන් කළ යුතුයි.‘