ජනපති උපදෙසින් තලවතුගොඩට ක්‍රීඩාංගනයක්


(නිමල කොඩිතුවක්කු)

තලවතුගොඩ, කිඹුලාවල වෙල්යායේ පිහිටි කමත ප්‍රදේශයේ ක්‍රිඩාංගනයක් ඉදිකිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  නාගරික සංවර්ධන අධිකාරියට ලබාදුන් උපදෙස් මත එම ඉදිකිරීම් කටයුතු අද (9) ආරම්භ කරනු ලැබීය.

කිඹුලාවල කමත වෙල්යාය මැද පිහිටි අක්කර 2 ක ප්‍රමාණයේ ඉඩමක මෙම ක්‍රිඩාංගනය ඉදිකිරීමට නියමිතය.ප්‍රදේශයේ දරු දැරියන්ට ක්‍රීඩා කිරිමට හැකිවන පරිදි සති දෙකක පමණ කාලයක් ඇතුළත මෙම ක්‍රීඩාංගනය සකස්කර අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වේ.

ඒ අනුව මෙම ක්‍රීඩාංගනය සකස් කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙහිදි අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා මෙසේ ද කීය.

 “කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියේ 2010 වර්ෂයේ ආරම්භ කරපු ව්‍යාපෘතියේ එක් අදියරක් තමයි අද අපි මේ ආරම්භ කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව මේ ප්‍රදේශය සංවර්ධනය කෙරුණා.

ජල ගැලීම පාලනය කරන්න මේ අක්කර 90 කට අධික භූමි ප්‍රමාණයක් නිසිලෙස සංවර්ධන කරලා ඒ ගොවීන්ට 2013 වර්ෂයේ ලබා දුන්නා. ඊළග කොටස තමයි අපි මේ අද ආරම්භ කරන්නේ.

මේ අවට ගම්මාන වල ඉන්න මහජනතාවට කුඩා දරුවන්ට, තරුණ තරුණියන්ට ක්‍රීඩා කරන්න අවශ්‍ය ඉඩකඩ නැහැ. ඒ නිසා  ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා මේ ප්‍රදේශය අංගසම්පූර්ණ ක්‍රීඩා පිටියක් බවට පරිවර්තනය කරන්න කියලා.
ඒ වගේම ඇල මාර්ග නැවත පිළිසකර කරලා මේ ප්‍රදේශය නැවත ජනතාවට අත්‍යාවශ්‍ය පහසුකම් සපයන මනරම් අංග සම්පූර්ණ ක්‍රීඩාංගනයක් බවට පරිවර්තන කරන්න අපි කටයුතු කරනවා” යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේය.

නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ව්‍යාපෘති) මහින්ද විතානාරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මුදල්) ඡායා තිළිණි, අධ්‍යක්ෂ එච්.ජී. සරත්චන්ද්‍ර, අධ්‍යක්ෂ එම්.පී. රණතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.