ජනපති - අගමැති මෝදි හමුවෙයි


( තිළිණි ද සිල්වා )

බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් අද ( 30 ) පැවැත්වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් යොදමින් සඳහන් කර තිබිණි.

බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාවය සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් 4 වන රාජ්‍ය නායක සමුළුව අද නේපාලයේ - කත්මන්ඩු නුවරදී ආරම්භ වූ අතර ඊට සමගාමීව මෙම හමුවීම සිදුවූ බවද එහි සඳහන්වේ.

මෙම හමුවේදී දෙරටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දෙරටේ නායකයින්ගේ සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ නිල ට්විටර් සටහනේ දැක්වේ.

තවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අද පෙරවරුවේ මියන්මාර ජනාධිපති වින් මින්ට් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූ අතර එහිදී  ශ්‍රී ලංකා - මියන්මාර ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සක්‍රීය කරගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කරගැනීමට රාජ්‍ය නායකයින් එකඟතාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

බෙංගාල බොක්ක සාමකාමී සශ්‍රීක හා තිරසර කලාපයක් යන තේමාව යටතේ ආරම්භ වන මෙම සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  විසින් හෙට (31) සමුළුව ඇමතීමට නියමිතය.