ජනතාව වෙනුවෙන් ඉදිරියට එන අය සිරගත කිරීම කනගාටුදායකයි


(නිමල කොඩිතුවක්කු)

රටේ බදු බර වැඩිකර විදුලි බිල වැඩි කර ජනතාවට ජන ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි මොහොතක රටේ දුක්විදින පොදුජනතාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ව සිරගත කිරීම සම්බන්ධයෙන් තමා අතිශය කණගාටු වන බවත් සිරගත කර සිටින ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන මහත්වරුන්ට රටේ අධිකරණ පද්ධතිය විසින් සාධාරණයක් ඉටු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද  (25) පැවසීය.

විදුලිබිල වැඩි කිරිම එරෙහිව සහ බලශක්ති ක්ෂේත්‍රයේ දූෂණයට ඇතුලු වර්තමාන රජයේ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන් පෙනී සිටි බවත් කිසිදු ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක නොකළ ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබා දී ඇති භාෂණයේ අයිතිය ක්‍රියාත්මක කළ බවත්  විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අනීතිකව පුද්ගලයන් සිරගත කිරිමට අප රට ඒකාධිපති හෝ ආඥාදායකත්වයක් සහිත රටක් නොවන බවත් සිරගත කර සිටින වෘත්තීය සමිති නායකයන් දෙදෙනකු වන ආනන්ද පාලිත සහ සංජීව ධම්මික බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

ඔවුන්ගේ  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂා කිරීම උදෙසා සමගි ජන බලවේගය පෙනී සිටින බවත් එපමණක් ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූල සටන් සියල්ලක්ම සිදු කිරිමට මූලිකත්වය ගන්නා බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් කියා සිටියේය.