(හර්ෂණ තුෂාර සිල්වා)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැප වී කටයුතු කරන බව නැවත වරක් සිහිපත් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රඥප්තීන්වලට අනුකූලව, ඒවාට ගරු කරමින් සහ බැඳි සිටිමින් ස්ථීරවම නිර්දේශ සහ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
සිවිල් යුද්ධය සමයේ වූ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, සංක්‍රාන්ති යුක්තිය, සාමය සහ සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම ආදී කරුණු රැසක් ඇතුළත් කරමින් 2015 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාවේ සම අනුග්‍රහය යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කරන ලදි.
අදාළ යෝජනාව නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා රජය වසර දෙකක කාල දිගුවක් ලබා ගත්තේය.
ඊයේ (11) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි සැසිවාරයේ ආරම්භක සැසියේදී අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නිශ්චිත සහ පැහැදිලි කාලරාමුවක් සහ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු යැයි මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා පැවැසීය.

