ජගත් ක‍්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ලකුණ සංගක්කාර


වසර 30 කට වැඩි ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට්  ඉතිහාසයේ පමණක් නොව වසර 135 ක ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ද නොනිමෙන තරුවක් බවට කුමාර් සංගක්කාර මේ වන විටත් පත්ව අවසන්ය. මෙම වමත් පිතිකරුවාගේ ක‍්‍රිකට් දස්කම් මෙන්ම ඔහු සතු චතුර ලෙස ඉංග‍්‍රිසි භාෂාව හැසිරවීම හැකියාව නිසා වර්තමාන ලෝක ක‍්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා සංඛේතය බවට සංගක්කාර පත්ව සිටියි.
 ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව මෙල්බන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 58 ක් රැුස්කරමින් ලෝක ටෙස්ට් ලකුණු 10,000 ක් රැුස්කළ 11 වැනි ක‍්‍රීඩකයා ලෙස සංගක්කාර  අන්තර්ජාතික කි‍්‍රකට් වාර්තා පොතට එක්විය.
කුමාර් සංගක්කාර 2011 වසරේ ලන්ඩන් නුවරදී පැවැත්වූ දේශනයකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සහ එහි දේශපාලන පසුබිම පිළිබඳව කළ හෙළිදරව්වෙන් පසුව ලෝකයේ දැඩි අවධානයට ලක්විය. සංගක්කාර මේ වන විටත් ක‍්‍රීඩකයන් නියෝජනය කරමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ කමිටු සාමාජිකත්වයක් ද දරයි.
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන එකතුව 2006 වසරේ දකුණු අප‍්‍රිකාවට එරෙහිව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 624 ක සම්බන්ධතාව  ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඉහළම සම්බන්ධතාව ලෙස ටෙස්ට් වාර්තා පොතේ මේ දක්වාම රැුදී තිබේ.   
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගත් පළමු සහ එකම ශ්‍රී ලංකා පිතිකරුවා ද වන සංගක්කාර අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 2012 වාර්ෂික සම්මාන උළෙලේදී වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා, වසරේ ටෙස්ට් ක‍්‍රීඩකයි සහ වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා යන සම්මාන ත‍්‍රිත්වයම මව්බිමේ රඳවා ගැනීමට සමත් විය. සංගක්කාර 2011 වසරේදී ද වසරේ ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සහ වසරේ එක්දින ක‍්‍රීඩකයා යන සම්මාන දෙක හිමිකර ගත්තේය.
කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩා සමාජයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට පිවිසි සංගක්කාර 2000 වසරේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ටෙස්ට් හිස්වැස්ම පැළදීය. සංගක්කාර මේ වන විට ටෙස්ට් තරග 115 කදී ශතක 30 ක් සමගින් ලකුණු 10,045 ක් රැුස්කර තිබේ. 35 හැවිරිදි සංගක්කාර එක්දින තරග 337 කදී ශතක 14 ක් සමගින් ලකුණු 10,915 ද රැුස්කර සිටියි.
වසර 10 කට අධික කාලයක් ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින්නා ලෙස කටයුතු කළ සංගක්කාර උඩ පන්දු 169 සහ ස්ටම්ප් කිරීම් 20 ක් සමගින් දවාගැනීම් 189 කට සම්මාදම් වී තිබේ.
සංගක්කාර 2009 වසරේ ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත්ව 2011 වසරේ ලෝක කුසලාන අවසන් මහ තරගයේ පරාජය දක්වා නායකයා ලෙස කටයුතු කළේය.  
මහනුවර ත‍්‍රිත්ව විදුහලෙන් ක‍්‍රිකට් මුලකුරු හැදෑරු සංගක්කාර පාසල් ශිෂ්‍යයකුව සිටියදී සමස්ත ලංකා මට්ටමේ දක්‍ෂ ටෙනිස් ක‍්‍රීඩකයකු ද විය. ක‍්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට ද දස්කම් දැක්වූ සංගක්කාර කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ද අධ්‍යාපනය ලැබීය.