ජංගම දුරකථනය ක්‍රියාත්මකව තිබීමෙන් සත්‍යය වසංවෙයි


(මනෝප්‍රිය ගුණසේකර)

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ හා විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානයේ සිදුකළ විනය පරීක්‍ෂණයේදී එහි එක් නිලධාරියකු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කොට තිබීම හේතුවෙන් ඇතිවූ බිය නිසා සත්‍ය තොරතුරු හෙළි නොකළ බව බන්ධනාගාර නිලධාරීන් පිළිගෙන ඇතැයි නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතාට දැනුම් දී ඇත.

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරීවරයා, ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා වරෙන්තු නිකුත් කළ අවස්ථාවේදී දිලීප පීරිස් මහතා ඒ බව දැනුම් දී ඇත.

මීගමුව බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ සම්පායෝ මහතාට අමතරව මෙලෙස වරෙන්තු නිකුත් කොට ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා වශයෙන් කටයුතු කරන උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් නිශාන්ත සේනාරත්න සහ දෙවැනි පෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැති නිලධාරීන් සිව්දෙනාටය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බුද්ධික විජේසේකර මහතා සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරමින් බන්නගාරගත සිරකරුවන් හා රැඳවියන් සමඟ එක්ව බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල ලබාදීම, කූඨ ලේඛණ සකස් කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය අමතමින් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත පසුගිය පෙබරවාරී 18 වැනිදාත් මැයි මස 11 වැනිදාත් අතර කාලයේ මීගමුව බන්ධනාගාරයේ සිදුකළ වැටලීම් වලදී ‘එල් වාට්ටුවේ’ තිබී ජංගම දුරකථන 06 ක්, සිම් කාඩ්පත් 08 ක්, සිගරට් 414 ක්, විස්කි බෝතලයක්, එහි 07 සහ 08 කාමර වල තිබී විදුලි උඳුන් 73ක් , විදුලි කේතලයක් , මෙට්ටයක් , ශීතකරණයක් මෙන්ම රෙදි පිරවු අල්මාරියක්ද සොයා ගත් බව දැනුම් දුන්නේය.

මීගමුව බන්ධනාගාරයේ තහනම් භාණ්ඩ තිබීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී දරුණු ගනයේ අපරාධකරුවකු වන ඔස්ටින් නමැත්තා ‘ඊෂී කෑෂ්’ ක්‍රමයට ලබාදුන් මුදලින් පසුගිය මැයි 08 වැනිදා ශීතකරණය මිලදී ගෙන ඇතැයිද විදුලි උඳුන්, විදුලි කේතල ඇතුළු අනෙකුත් විදුලි උපකරණ මාර්තු මස 24 වැනිදා මිලදී ගෙන ඇතැයිද එම එකඳු භාන්ඩයක් හෝ ලේඛනගත කොට නැතැයිද පැවසු දිලීප පීරිස් මහතා එම භාණ්ඩ තබාගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබාගෙන නැතැයිද පැවසීය.

මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වලදී බන්ධනාගාරයේ රඳවා සිටින දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් වර්ග සුරක්‍ෂිත කිරීම සඳහා හෝටල් හිමියකු විසින් කළ පරිත්‍යාගයක් බව හැඟවීම සඳහා කූඨ ලේඛණ සකස් කොට ඇති බව හෙළි වුවේ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කීය.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මුලස්ථානය අභ්‍යයන්තර විනය පරීක්‍ෂණයක් පවත්වා ඇතැයිද එම විනය පරීක්‍ෂණයේ සිටි එක් නිලධාරියකු ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක කොට තිබීම නිසා සත්‍ය තොරතුරු හෙළි නොකොට අසත්‍ය කරුණු පැවසු බව බන්ධනාගාර නිලධාරීන් රහස් පොලිසිය හමුවේ හෙළි කොට ඇතැයි පැවසු දිලීප පීරිස් මහතා බන්ධනාගාර මූලස්ථානයේ පැවැත්වු අභ්‍යයන්තර විනය පරීක්‍ෂණය සඳහා මීගමුව බන්ධනාගාරයේ සිටි නිලධාරීන්ට කොළඹ පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් සළසා ඇත්තේ සැකකාර නිලධාරියකු බව මේ වනවිට හෙළි වී ඇතැයිද පැවසීය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට ඇත.