ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට විශේෂ ක්‍රියාමාර්ග රැසක්


(ඩයනා උදයංගනී)

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ඡන්ද ගණන් කිරීම මැතිවරණ දිනට පසුදින ආරම්භ වන නිසා ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

විශේෂයෙන්ම මෙවර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මැතිවරණයට තරඟ කරන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියොජිතයින් දෙදෙනකු බැගින් යෙදවිය හැකි අතර ඔවුන්ට රාත්‍රී කාලයේ එම මධ්‍යස්ථානයේ රැඳී සිටිය හැකි බවත්, ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිටතට නොපෙනන පරිදි වෙනදා මෙන් මෙවර කළු කඩදාසිවලින් ආවරණය නොකරන බවත් මහින්ද දේශප්‍රිය මහතා කීවේය.

එබැවින් දේශපාලන පක්‍ෂ නියෝජිතයින්ට එහි ඇතුළත දිස්වන බැවින් කිසිඳු සැකයක් ඇතිවන්නේ නැතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාවලට ගෙන ගොස් ගණන් කිරීමේ නිලධාරියාට භාර දුන් පසු මෙවර රාත්‍රියේම ගණන් නොකරන නිසා එම ඡන්ද පෙට්ටි තව විශාල පෙට්ටියකට ඇතුළු කර සීල් තැබීම ද සිදුකරන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙන යන කුඩා ඡන්ද පෙට්ටිමත මෙන්ම ඒවා ඇතුළු කරන විශාල ප්‍රමාණයේ පෙට්ටියෙහි ද තම පක්‍ෂයට අනන්‍ය කුමන හෝ ස්ටිකරයක්, නැතිනම් අත්සන යෙදූ සුදු කඩදාසියක් ඇලවීමේ අවස්ථාව පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින්ට හිමිවන බව හෙතෙම කීවේය.

රාත්‍රියේ අලවන එම ස්ටිකරය හෝ සලකුණ පසුදින උදෑසනත් එහි ඇත්ද යන්න ඔවුන්ට පරීක්‍ෂා කළ හැකි බව ඔහු පැවසීය.
මෙම ස්ටිකර්වල දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වල ලාංඡන, පක්‍ෂ නියෝජිතයන්ගේ ඡායාරූප ආදිය නොතිබිය යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඡන්ද පොලේදී පත්‍රිකා ඇතුළු කිරීමට පෙර ඡන්ද පෙට්ටිය හිස් බව තහවුරු කිරීමෙන් අනතුරුව එයට ඉබි යතුරු දමා ලොක් කිරීම මෙන්ම ඡන්ද පෙට්ටියේ ඇති සිදුරුවලින් රතු පැහැ පටි දමා ගැටගැසීම සිදුකරන බව කී මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද පත්‍රිකා දමා අවසන් වූ පසු ඉබි යතුරු දැමූ ස්ථානය ද ආවරණය වන පරිදි එම පෙට්ටි විශාල ප්‍රමාණයේ මැතිවරණ කොමිසන් සභාවේ සීල් සහිත ටේප් පටියකින් සීල් තැබීම සිදුවන බව ද කීවේය.

ඉන්පසු ඡන්ද මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාගේ හා සෙසු නිලධාරීන්ගේත්, දේශපාලන පක්‍ෂ නියෝජිතයින්ගේත් අත්සන් සහිත පත්‍රිකාවක් ඉබි යතුරු යෙදූ ස්ථානය ආවරණය වන අයුරින් අලවා ඡන්ද පෙට්ටිය පොලිතීන් කවරයක දමා අංකයක් සහිත ප්ලාස්ටික් ටැග් එකකින් යළිත් සීල් තබන බැවින් ඒවා කිසිසේත් මාරු කළ නොහැකි බව හෙතෙම පැවසීය.

ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාවට මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් හා පොලිස් නිලධාරීන් ද යොදවා ඇතැයි කී සභාපතිවරයා එම ස්ථානයට ගිනිපෙට්ටි, දුම්වැටි, මත්පැන්, වෙනත් මත්ද්‍රව්‍ය ගෙනඒම තහනම් බව ද කීවේය.
රාත්‍රී කාලයේ දී ඡන්ද පෙට්ටි තුළට වෙනත් ඡන්ද පත්‍රිකා ඇතුළු කළ හැකි බවට, ඡන්ද පත්‍රිකා මාරු කළ හැකි බවට ජනතාව අතර මතයත් ගොඩනැගී ඇති නමුත් එය කෙසේවත් කළ නොහැකි බව ද මැතිවරණ කොමිසන් සභා සභාපතිවරයා කීවේය.