චීනයේ සිරවී සිටි තවත් සිසුන් 48 ක් ලංකාවට


(ටී.කේ.ජී.කපිල)

චීනයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටියදී නව කොරෝනා වෛරසයට මැදිවී මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු අද (31) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මොවුන් ඊයේ (30) රාත්‍රී 9.00 ට චෙංඩු සිට පැමිණ එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් 33 ක් ද, අද (31) අලුයම 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් වූ ෂැංහයි සිට පැමිණි යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් 6 දෙනෙකු ද, ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් 9 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

පසුව මොවුන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කර තිබේ.

මෙම කොරෝනා වෛරසය රෝගී තත්වයට ඇති වීමට පෙර තත්වයට සාපේක්ෂව චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානාවල සිටින ගුවන් මගීන් සංඛ්‍යාව බෙහෙවින් අඩු මට්ටමක පවතී .