චීනයේ සිට පැමිණි සිසුහු අන්තර්ජාලය ඔස්සේ උගනිති


(දසුන් රාජපක්ෂ)

නව කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් චීනයේ වුහාන් සිට මෙරටට ගෙන්වා ගත් සිසුන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට චීන විශ්ව විද්‍යාල මේ වනවිට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

චීනයේ වුහාන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සහ විද්‍යාව හා තාක්ෂණවේදය පිළිබඳ චීන මධ්‍යම විශ්ව විද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් එලෙස අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති බව වුහාන් සිට මෙරටට පැමිණ සිටින කසුන් වික්‍රමගේ ශිෂ්‍යයා අද (21) පැවසීය.

මේ වන විට ලංකාවේ සිටින වුහාන්හි උසස් අධ්‍යාපනය ලැබූ සිසුන් 33 දෙනා අතරින් පිරිසක් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ඔවුන්ගේ විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වී අධ්‍යයන කටයුතු සිදුකරමින් සිටින බවද කසුන් වික්‍රමගේ ශිෂ්‍යයා සඳහන් කළේය.

මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය යටතේ සිදුකෙරෙන ඉගැන්වීම් කටයුතු එම විශ්වවිද්‍යාල ආරම්භ කරන තෙක් සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල බලධාරීන් තමන් වෙත දැනුම් දුන් බව එම ශිෂ්‍යයා වැඩිදුරටත් කියා සිටියේය.

නව කොරෝනා  වෛරසයේ බලපෑම චීනයෙන් පහව යන තෙක් අදාළ විශ්වවිද්‍යාල වසා තැබෙන අතර ඒවා ආරම්භ කෙරෙන දින වකවානු මෙතෙක් ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට දැනුම් දී නොමැත.