චීන යානය සඳට ගොඩබැහැලා


සඳෙන් පස් සාම්පල ගෙන ඒමේ අරමුණින්, චීන විද්‍යාඥයන් සඳට යැවූ රොබෝ යානය සාර්ථකව ස‍ඳට ගොඩ බෑවේය.

'චැංග් ඊ 6' යනුවෙන් නම් කළ මෙම රොබෝ යානය ගොඩබෑවේ සඳේ අඳුරු කලාපයටය. සඳේ අඳුරු කලාපය යනු සැමවිටම පෘථිවියට පිටුපා ඇති අඳුරු කොටසය. මෙම අඳුරු කලාපය තවමත් විද්‍යාඥයන්ට අබිරහසකි. 

'චැංග් ඊ 6' සඳට ගොඩබෑවේ අද (2) චීනයේ වේලාවෙන් උදේ 6.23 ටය. පෙර සැලැසුම් කළ පරිදි, යානය ගොඩබෑවේ ඇපලෝ යන නමින් නම් කළ ආවාටයටය. 

චීනය මීට පෙර අවස්ථා දෙකකදී සඳට රොබෝ යානා සාර්ථකව ගොඩබස්සා ඇති නමුත්, සඳුගේ අඳුරු කලාපයට රොබෝ යානයක් ගොඩබැස්සූ පළමු අවස්ථාව මෙය වෙයි.

චීන අභ්‍යවකාශ ආයතනය, 'චැංග් ඊ 6' සඳට ගොඩබස්සවා, පස් සාම්පල ලබා ගෙන, එම රොබෝ යානයට ආපසු පෘථිවියට ගෙන්වා ගැනීමට ද සූදානම් වෙයි. පස් සාම්පල එකතු කිරීමට රොබෝ අතක් යානයට සම්බන්ධ කර ඇත.

පස් සාම්පල රැගෙන ආපසු පෘථිවියට පැමිණීමේ මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් එය අභ්‍යවකාශ ගවේෂණයේ දී චීනය ලබන සුවිශේෂී ජයග්‍රණයක් වනු ඇතැයි ද පැවැසෙයි.

චීනයේ 'ලොංග් මාච්' රොකට්ටුවේ ආධාරයෙන්, 'චැංග් ඊ 6' සඳ ගමන ආරම්භ කළේ පසුගිය මැයි 3 වැනිදාය. 

සඳට මිනිසුන් යැවීමට සමත් වූ එකම රට ඇමෙරිකාවය. සඳට රොබෝ යානයක් යවා පළමුවෙන් පස් සාම්පල ගෙන්වා ගැනීම කළේ සෝවියට් දේශයයි.

චීනයේ මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, සඳෙන් පස් සාම්පල පෘථිවියට ගෙන්වා ගන්නා තෙවැනි රට වනු ඇත්තේ චීනයයි.

මේ වනවිට චීනය ඔවුන්ටම කියා පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ද ඉදි කරමින් සිටී. 2030 දී චීනය සඳට ගගනගාමීන් යැවීමටත්, ඉන්පසු සඳ මත ගගනගාමීන් පදිංචි කිරීමටත් සූදානම් වෙයි.

(එන්.ඩී.ටීවී)