චීන ජාතිකයන් නිරෝධායනය නොකරන්නේ චීන රජය හරහා එය සිදුකරන නිසයි


(ඩයනා උදයංගනී)

මෙරටට පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රී ලංකා රජය මැදිහත් වී නිරෝධායනය නොකරන්නේ චීන රජයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙරටදී දින 14 ක් නිරෝධායනය කෙරෙන නිසා යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකාවට චීනයෙන් පැමිණෙන්නේ මෙහි රැකියා සඳහා පැමිණෙන්නන් පමණක් බව කී විශේෂඥ වෛද්‍යවරයා ඔවුන්ව එලෙස චීන රජයේ මැදිහත්වීමෙන් මෙරටදී දින 14ක් නිරෝධායනය කෙරෙන අතර මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මගින්ද ඔවුන් සම්බන්ධයෙන් පසුවිපරම් කෙරෙන බව සඳහන් කළේය.

චීනයේ සිට පැමිණෙන්නන් නිරෝධායනය නොකරන්නේ ඇයිද යන්න ගැන සමාජයේ කතිකාවතක් මතුවී ඇතැයි කී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ වන විට චීනයේ කොරෝනා පැතිර යන ප්‍රාන්තයන්හි සිට කිසිම පුද්ගලයෙක් විදේශයන්ට නොයන බව ද සඳහන් කළේය.

මේ වන විට චීනය රෝගය පාලනය කරගනිමින් තිබෙන අතර එහි රෝගය පවතින හුබෙයි ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශයන්හි ජනතාවට තවමත් ඉන් පිටවීම තහනම් කර තිබෙන බවද අනිල් ජාසිංහ මහතා කීවේය.

විදෙස් රටවල සිට පැමිණි 4,794 දෙනෙක් සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශ පසුවිපරම් කරන බව කී අනිල් ජාසිංහ මහතා ඉන් 3,035 දෙනෙක් ශ්‍රී ලාංකිකයින් වන අතර 1,153 දෙනෙක් චීන ජාතිකයින් බව ද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.