චන්ද්‍රිකා පියාගේ පිළිරුවට කලින්ම මල් කළඹක් තියා යයි


(දසුන් රාජපක්ෂ)

පියාගේ අනුස්මරණ උළෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමාට ආරාධනා කර නැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 121 වැනි ජන්ම දිනය වෙනුවෙන් අද උදෑසන ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක මහතාගේ පිළිරුව වෙත සමරු මල් කළඹක් තැබීමට පැමිණි හිටපු ජනාධිපතිනිය මේ බව පැවසුවාය.

සිය වැඩිමල් සහෝදරිය වන  සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සමඟ අද එම ස්ථානයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන සැමරුම් උළෙල අද (8) පෙ.ව.8.30ට සංවිධානය කර ඇති බවත් එම වේලාවට පෙර පැමිණ මල් කළඹක් තැබුවේ මන්දැයි යන්නය.

එහිදී මාධ්‍යවේදින් ඇමතූ ඒ මහත්මිය කීවේ සැමරුම් උළෙල සිය පියාගේ වන නිසා සුපුරුදු පරිදි සෑම වසරකම තමා මෙහි පැමිණ මල්කළඹක් තබන බවයි. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමාට මෙම සැමරුම් උළෙලට ආරාධනා කර නැති බවත් ඇය කියා සිටියාය. 

ඉන් අනතුරුව මාධ්‍යවේදින් අතරින් නික්ම ගිය ඇය එහි සිටි ශ්‍රී ලංකා පක්ෂයේ සංවිධායකයන් සමඟ තමාට මෙම උළෙල සඳහා ආරාධනා නොකිරීම ගැන දොස් තැබුවාය.

ඇය පැමිණි අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙලේ කිසිවකු එහි පැමිණ නොතිබිණි.

(ඡායාරූප - ගයාන් අමරසේකර)