ගේල්ගේ ප‍්‍රවේගකාරී ශතකයෙන් බැංගලෝර් පිලට ලකුණු 21 ක ජයක්


දැවැන්ත හයේ පහර 13 ක් සහ හතරේ පහර 7 ක් සමගින් කොදෙව් පිතිකරු ක‍්‍රිස් ගේල් ලබාගත් ලකුණු 128 නිසා දිල්ලියේදී පැවති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල විසින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ලකුණු 21 කින් පරාජය කරන ලදි. වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 62 කදී ලකුණු 128 ලබාගත් ගේල් තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා අරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 10 දැවී යාමත් සමඟ පිටියට පිවිසුණු බැංගලෝර් නායක විරාට් කෝලි නොදැවී ලකුණු 73 ක් ලබා ගැනීමට සමත් විය. ගේල් සහ කෝලි එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 204 නොබිඳුනු සම්බන්ධතාවක් ගොඩනැංවූහ. දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන ලකුණු  9 දැවි ගිය අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ශ්‍රී ලංකා පිලේ හිටපු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් ලකුණු 44 කට කඩුල්ලක් දවාගත්තේය. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්  ඕවර 20 කදී කඩුලූ 1 ට 215 (කි‍්‍රස් ගේල් නොදැවී 128, විරාට් කෝලි නොදැවී 73) දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්  ඕවර 20 කදී කඩුලූ 9 ට ලකුණු 194 (වෙනුගෝපාල් රා ඕ 36, රොස් ටේලර් 55, ඔන්ඩි‍්‍ර රසල් 31, සහිර් ඛාන් 38/3)