ගුවන්තොටුපළ අගෝ. 1 ට පෙර විවෘත කරන්න රජයේ අවධානය


( තිළිණි ද සිල්වා )

කටුනායක ගුවන්තොටුපල ලබන අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අද (14) පැවසීය.

එසේම කටුනායක ගුවන්තොටුපල සංචාරකයන්ට විවෘත කිරීමට පෙර ,  යළි මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින සියලූ දෙනා ගෙන්වා ගන්නා බවද අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අගෝස්තු 01 වෙනිදාට පෙර විදේශගත ලාංකිකයන් මෙරටට ගෙන්වීම අවසන් කල හැකි වනු ඇති බවය.

දැනටමත් 10,000ක් විදෙස්ගත ලාංකිකයින් මෙරටට ඇවිත් නිරෝධායනය වන බවත්, තවත් 20,000 ආසන්න පිරිසක් ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියද , මෙරට නිරෝධායන මධ්‍යස්ථාන තුල පවතින ඉඩකඩ අනුව ගෙන්වා ගැනීම සිදුවන බවද ඇමතිවරයා කීවේය.

සංචාරකයන් සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු මෙරට කණ්ඩායම් ලෙස සංචාරකයන් ගෙන්වීමට අවධානය යොමුකර ඇති බවත් ,එලෙස පැමිණෙන සියලූම සංචාරකයන් අනිවාර්යෙන්ම පී.සී.ආර් පරීක්ෂාවකට ලක්විය යුතු බවද කීවේය.

එම පරීක්ෂණයේ ප‍්‍රතිඵලය අනුව ඔවුන්ට රට තුළ සංචාරයට සඳහා ඉඩලබා දීම තීරණට වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම සංචාරකයින් නිරන්තරයෙන් සෞඛය අංශ පරීක්ෂාවට ලක් කිරීමේ ක‍්‍රමවේදයක් සංචාරක සංවර්ධන අධිකාරිය හරහා සිදු කෙරෙන බව කී සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සංචාරකයින්ට හිතුමතේ රට තුළ සංචාරය කළ නොහැකි බවය.