ගුවන් සෙබළාගේ මරණයට සැකපිට තවත් සෙබළුන් 3 ක් අත්අඩංගුවට


( ක.ග කරුණාරත්න)
සාදයක් අතරතුරදී හදිසියේ රෝගාතුරව රෝහල් ගත කරන අවස්ථාවේ දී මියගොස් සිටි බව කියන ගුවන් සෙබළාගේ  මරණය සම්බන්ධයෙන් සැකපිට ගුවන් සෙබළුන් තිදෙනෙක් අද (15) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි.

පොලොන්නරුව, මනම්පිටිය, මහවැව ප්‍රදේශයේ පිහිටි මත් සාදය පැවැති නිවසේ හිමිකාර ගුවන් සෙබලෙකු සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියතු තවත් සෙබලුන් දෙදෙනෙකු මෙහි සෙසු සැකකරුවෝ වෙති.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන මොවුන් සිව්දෙනාම මනම්පිටිය මහවැව පිහිටි ගුවන් සෙබළ මිතුරාගේ නිවසේ දී මත්පැන් සාදයක් පවත්වා ඇත. ඒ අතරතුරදී  හදිසියේ රෝගාතුරව මිය ගොස් ඇත්තේ මොණරාගල, සලරුව, බිබිල පාර අංක 32 කණුව ලිපිනයේ පදිංචි නායක ගුවන් භට (024318) දිසානායක මුදියන්සේලාගේ රෝෂාන් චානක සංජීව දිසානායක යන අයයි.
 
මෙම ගුවන් සෙබළා හදිසියේ රෝගාතුරව මනම්පිටිය රජයේ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව එහි වෛද්‍යවරු සඳහන් කළහ. පසුව ඔහුගේ මළ සිරුර පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා තිබේ. ඒ සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (15) පැවැත්වීමට නියමිතය. 
 
මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සෙබලුන් තිදෙනා කෑගල්ල අම්පාගල, වලපනේ සහ මනම්පිටිය මහවැව පදිංචිකරුවෝ වෙති. වැලිකන්ද පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.