ගුවන් මගීන් හැඳල රෝහලට ගෙන එනවැයි ගම්වාසීහු විරෝධයක


(ඉන්දිකා  රාමනායක)

කොරෝනා වෛරසය ආසාදනය වූවන් සිටින රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මගීන් නිරෝධායන කටයුතු සඳහා  හැඳල ලාදුරු රෝහලට රැගෙන ඒමේ තීරණයට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (5) හැඳල හේකිත්ත මාර්ගය අවහිර කරමින් රෝහල ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹූහ.

අධික ජනාකීර්ණ ප්‍රදේශයක් වන බැවින් නිරෝධායන කටයුතු  සඳහා මෙම  ස්ථානය  සුදුසු නොවන බවත්, ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරා ගන්නා ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

මෙම රෝහල අසළ පාසලක්, දේවස්ථානයක්, අක්ෂි රෝහලක්, කෝවිලක්  පිහිටා ඇති බවත් නිරෝධායන මධ්‍යස්ථානයක් මෙහි ස්ථාපිත කිරීමෙන් ජන ජීවිතවලට ගැටළු ඇති වන බවත් උද්ඝෝෂකයෝ  පෙන්වා දෙති.

උද්ඝෝෂණය පවත්වන ස්ථානයට පැමිණි පොලිසිය එහි ආරක්ෂාව තර කර තිබිණි.

ඉතාලිය, කොරියාව, ඉරානය, දකුණු කොරියාව යන රටවල සිට පැමිණෙන සියලු දේශීය විදේශීය සංචාරයන් දින 14ක නිරෝධායන කාලයක් සඳහා එම ස්ථානයට යොමුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)