( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැඩබලන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන මැයි මස 4 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (12) තීන්දු කළේය.
එතෙක් නිසි අධිකරණ නියෝගයකින් තොරව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය නිකුත් කර තිබූ නියෝගය මීළඟ නඩු දිනය තෙක් දීර්ඝ කිරීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබීය.
එහිදී පෙත්සම සලකා බැලීම මැයි මස 4 කැදවීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
එහිදී මහධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් අධිකරණ නියෝගයකින් තොරව තම සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉකුත් නඩු දිනයේ පොලිස්පතිවරයා වෙත නිකුත් කළ නියෝගය ඊළඟ නඩු දිනය තෙක් දීර්ඝ කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා පොලීසිය දැනටමත් අධිකරනයෙන් මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගෙන තිබෙන නිසා ඉකුත් නඩු දිනයේ සිදුකළ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව පැවසුවේය.
කෙසේ වෙතත් විනිසුරු මඩුල්ල සඳහන් කළේ අධිකරණ නියෝගයකින් තොරව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස නිකුත් කර තිබූ නියෝගය මීළඟ නඩු දිනය තෙක් එලෙසම බල පැවැත්වෙන බවය.
විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සිය පෙත්සමෙන් අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලානාත්මක හඬපට හෙලිදරව්වීමෙන් පසුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් තමන්ව පදනම් විරහිතව අත් අඩංගුවට ගැනීමට සූදානම් බවයි.
ඒ අනුව පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැඩ තහනමට ලක්වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත .

