(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටවූ සුන්බුන් හා හා අපද්‍රව්‍ය ටොන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ගුවන් හමුදා සාමාජිකයන් විසින් සොයා ගෙන අදාළ අංශවලට භාර දෙනු ලැබ ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි .
මීගමුව දුම්ගාල්පිටිය වෙරළ තීරයට සහ දෙහිවල ගල්කිස්ස මුහුදු තීරයේ ගොඩගසන ලද සුන්බුන් එකතු කිරීම සඳහා කටුනායක සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරුවල සාමාජිකයන් එක්දහස් පන් සිය පනහකට ආසන්න පිරිසක් පසුගිය 27 වැනිදා සිට ජුනි මස 2වැනිදා දක්වාවූ කාලයේදී යොදවනු ලැබූ බවද ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.
මෙයට අමතරව උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා වූ වෙරළ තීරයට ගොඩ ගසන ලද නෞකාව පිලිස්සුණු බහලුම් සහ සුන්බුන් පිළිබඳව ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා පසුගිය 26 වෙනිදා පුළුල් නිරීක්ෂණයක් කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි .
මේ අතර ගුවන් හමුදාවේ බෙල් 212වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් නැවේ ගින්න මතට ගිනි නිවීමේ වියළි රසායනික ද්‍රව්‍ය පවුඩර් කිලෝග්‍රෑම් 1830ක් හෙළන ලද බවත් මේ සඳහා එම හෙලිකොප්ටර් යානය ගුවන් ගමන් වාර දහනමයක් ක්‍රියාත්මක කර ඇති බවත් ගුවන් හමුදා ප්‍රධානීහු පවසති.
මෙයට අමතරව බීච් ක්‍රාෆ්ට් බී200වර්ගයේ ගුවන් යානාවක් ආධාරයෙන් ගින්න නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක් කරමින් එහි තොරතුරු සමුද්‍රීය පරිසර පරීක්ෂණ අධිකාරියටත් නාවික හමුදාව ඇතුළු අදාළ අංශවලටත් ලබාදීමට පියවර ගත් බව ගුවන් හමුදා මූලස්ථානය පවසයි.

