ගාල්ල මහින්ද සියවස් ජම්බෝරිය අද


ගාල්ලේ මහින්ද විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමට හා ගාලු දිසා බාලදක්ෂ සමූහයට සිය වසරක් පිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘ෆිගාමාස්ක් සෙන්චනරි‘ ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය අද (22) ගාල්ලේ දී ආරම්භ වෙයි. අඟහරුවාදා සිට දෙස් විදෙස් බාලදක්ෂයෝ සහ බාලදක්ෂ බාළිකාවෝ 1500ක පමණ පිරිසක් පැමිණ ගාල්ල සමනල පාලම ක්‍රීඩාංගණය, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා පාපන්දු පිටියේ කඳවුරු බැඳ සිටිති.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කළ තුන්වැනි පාසල හා දකුණු පළාතේ පළමු පාසල වන්නේ මහින්ද විද්‍යාලයයි. බාලදක්ෂයකුට ලැබිය හැකි ඉහළම පදක්කම වූ අතීතයේ රැජන පදක්කම ද වර්තමානයේ ජනාධිපති පදක්කම ද ලැබූ වැඩිම බාලදක්ෂයන් පිරිසක් බිහිකළ විද්‍යාලයන් අතර මහින්දයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

මහින්දයේ බාලදක්ෂ කටයුතු ආරම්භ කිරීමේ පුරෝගාමියකු වූ නියෝජ්‍ය විදුහල්පති එච්.ජී.පියර්ස් මහතා ඉන්දියාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමේ මූළිකයා වූයේය. මහින්ද බාලදක්ෂයෝ ද පියර්ස් මහතාට සහය වෙමින් ඉන්දියාවට ගොස් ඉන්දියාවේ බාලදක්ෂ ව්‍යාපාරය ඇරඹීමේ කටයුතු ඉට කළහ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සවස විවෘතවන සියවස ජම්බෝරියට පැමිණ සිටින බාලදක්ෂයන්ට මහින්ද විද්‍යාලයේ දී, කොග්ගල දී හා රූමස්සල දී ක්‍රියාකාරකම් රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. සංස්කෘතික සංදර්ශන, නිපුණතා සංදර්ශන හා ගිනිමැල දර්ශන ඇතුළු විශේෂාංග රැසක් දිනපතා රාත්‍රී කාලයේ ගාල්ල උසාවි චතුරශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.