ගාල්ල පැරණි තැපැල් කාර්යාලය කඩා ඉවත් කිරීමට අධිකරණ නියෝගයක්


(ඩී.ජී.සුගතපාල)
ගාල්ල පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටිමෙන් පසු තවත් කොටස් කඩාවැටි මහජනයා හිරිහැරයට පත්විමේ අවදානමක් පවතින නිසා  එම අනතුරුදායක කොටස් ජනවාරි (6) වන දිනට හෝ එදිනට පෙර  ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට,ගාලු උරුමය පදනමට සහ තැපැල් දෙපාර්තමේන්තුවට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (19) කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය.
 

මෙම පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ බිත්තියක් ඉකුත් (07) දින  රාත්‍රි සම්පූර්ණයෙන්ම කඩා වැටිමෙන් පසු අනතුරුදායක ඉතිරි කොටස් සියල්ලද දිනක් ඇතුලත ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස  (09) දින  පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ගාල්ල නගර සභාවට ගාලු උරුමය පදනමට සහ තැපැල් දෙපාර්තමේන්තුවට  නියෝග කර ඇතත් මෙතෙක් එම අනතුරුදායක කොටස් ඉවත් නොකිරිම සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබිය.
 
 එම කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා  එම කොටස් ඉවත් කිරිමට ,අලුත් වැඩියා කිරිමට හෝ මුක්කු ගැසිමට පියවර ගෙන ජනවාරි 6දින හෝ එදිනට පෙර කරුණු දක්වන ලෙසද එම ආයතනවලට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය.

ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටිමත් සමගම පොලිසිය මේ වනවිට  එම ස්ථානයේ පාරවසා ආරක්ෂාව සැළසිමට පියවර ගෙන ඇත.

ගාල්ල තැපැල් කාර්යාලය ලංකාවේ ආරම්බ කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වන අතර එය පිහිටුවා තිබුනේ මෙම ගොඩනැගිල්ලේය. ගාල්ල පොලිසියේ උප පොලිස් පරික්ෂක පතිරණ මහතා සමග සැරයන් ගමගේ(32023) මහතා විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදි.