ග්‍රොන් ප‍්‍රී ගොල්ෆ් ශූරයා තංගරාජා
ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් සංගමය සංවිධානය කළ ෆින් ප‍්‍රනාන්දු අනුස්මරණ කුසලාන ශ්‍රී ලංකා ‘ග්‍රොන් ප‍්‍රී’ ගොල්ෆ් තරගමාලාවේ (2011/12) ශූරතාව දිනාගත් එන්. තංගරාජා ඇතුළු ජයග‍්‍රාහී ක‍්‍රීඩකයන්ට සම්මාන පිරිනැමීම ඊයේ (28) කොළඹ රාජකීය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජයේදී කෙරිණ. පසුගිය වසරේ ජුලි මසදී ආරම්භ වු මෙම තරගමාලාව වසරකට ආසන්න කාලයක් කොළඹ සහ නුවර ගොල්ෆ් ක‍්‍රීඩාංගණවලදී පැවැත්විණ.
තරගාවලි 12 කින් සමන්විත තරගමාලාවේ තරගාවලි 11 කින් තරගාවලි නවයක් ජයගත් ශ්‍රී ලංකා අංක එකේ ගොල්ෆ් ක‍්‍රීඩක තංගරාජා දෙවැනි වුයේ තරගාවලි දෙකකදී පමණි. ඔහු තරගමාලාව අවසානයේදී ලකුණු 1590 ක් ලබා ගත්තේය. ලෝක ආධුනික ගොල්ෆ් සම්මේලන ශ්‍රේණිගත කිරීමේදී (ක‍්‍රීඩක) තංගරාජා 76 වැනි ස්ථානයේ පසුවෙයි. තංගරාජා ආසියානු ගොල්ෆ් ක‍්‍රීඩකයන් අතරේ අටවැනි ස්ථානයේ සිටියි.
තරගමාලාවේදී එන්. රංගා ලකුණු 1108 ක් ලබා දෙවැනි ස්ථානය දිනාගත් අතර විජිත බණ්ඩාර (ලකුණු 1106) තෙවැනි ස්ථානය ලැබීය. එම්. අරුමුගම් (978), සිසිර කුමාර (954), එම්. අමරපද්ම (912), චානක පෙරේරා (852), ධනූෂ පෙරේරා (777), ආර්. සුරේෂන් (758) සහ එම්. ප‍්‍රදීප් කුමාර (738) යන ක‍්‍රීඩකයෝ පිළිවෙලින් සිවුවැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය ලැබුහ.

