ග්ලයිෆොසේට් නිසා බස්නාහිරට හානි


(විනීතා එම් ගමගේ)

ග්ලයිෆොසේට් කෘෂි රසායනිකය ගෙන්වා තේ වගාව සඳහා යෙදුව හොත් එයින් බස්නාහිර පළාගේ ජනතාව බරපතල සෞඛ්‍ය ප‍්‍රශ්නවලට මුහුණ දෙනු ඇතැයි වකුගඩු රෝග පිළිබඳ පර්යේෂකයෙකු වන රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මධ්‍ය කඳුකරයේ තේ වගාවට ග්ලයිෆොසේට් යෙදුවහොත් ඒවා සේදී ගංගාවලට එන බවත් කැළණි ගඟ ඔස්සේ එන රසායනික පානීය ජලයට එකතු වන බවත් හෙතෙම පෙන්වා දෙයි.

එහි ඇති බැර ලෝහ ජල පිරිපහදු කිරීම් වල දී ඉවත් නොවන නිසා බස්නාහිර පළාතේ විශේෂයෙන් කොළඹ හා අවට ප‍්‍රදේශවල ජනතාවගේ ශරීරවලට පානීය ජලය සමඟ මෙම විෂ රසායනිකය එකතු වීම වැළැක්විය නොහැකි වනු ඇතැයි ද ජයසුමන මහතා පවසයි.

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය 2 ඒ කාණ්ඩයේ පිළිකා කාරකයක් ලෙස ග්ලයිෆොසේට් නම් කර ඇති අතර ලෝකයේ බොහෝ රටවල් එය තහනම්  කරමින් සිටින බව ද ජයසුමන මහතා කියයි.

මේ අතර මධ්‍ය කඳුකරයේ තේ වගාවට යොදන ග්ලයිෆෝසේට් මහවැලි නදිය ඔස්සේ රජරටට හා නැගෙනහිර දෙසට යන බවත් මේ නිසා දැනටමත් වකුගඩු රෝගයට ගොදුරුවී සිටින එම පළාත්වල ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇතැයි ද හෙතෙම තව දුරටත් පැවැසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ තේ වගාවට ග්ලයිෆොසේට් යොදන බව සැලවීමත් සමඟ මෙරට තේ වෙළෙඳපොල බරපතල  කඩාවැටීමකට ලක්වීම වළැක්විය නොහැකි වනු ඇතැයි ද ජයසුමන මහතා ප්‍රකාශ කරයි.