(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් පිරිසක් මුලතිව් මුත්තියන්කඩ්ඩු රක්ෂිතයේ ගවේෂණයකට ගොස් අතරමංව සිටියදී අද (16) උදෑසන සොයාගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි.

මුත්තියන්කඩ්ඩු රක්ෂිතයේ මෙසේ අතරමංව සිටියේ වෛද්‍ය අංශයේ සිසුන් 09 දෙනෙකු වන අතර ඔවුන් ඊයේ (15) දින රක්ෂිතයට ඇතුළු වී ඇත්තේ කිසියම් ගවේෂණාත්මක වැඩසටහනක් වෙනුවෙනි.
එහිදී ඔවුන් වැඩසටහන අවසන් වී නැවත රක්ෂිතයෙන් පිටත් වීමට උත්සහ ගත් විට එය අසාර්ථක වීමෙන් සිසුන් අතරමංව සිටින බවට ඔවුන්ට හැඟීමත් සමග පොලීසියෙන් හා ඥාතීන්ගෙන් උදව් ඉල්ලා ඇත.
අනතුරුව ප්‍රදේශවාසීන් හා යුද හමුදාවේ 64 බලසේනාවේ සෙබළුන් පිරිසකගේ ද සහයෙන් පොලීසිය සමග රාත්‍රීයේම මුත්තියන්කඩ්ඩු රක්ෂිතයට ඇතුළු වී අද අලුයම වන විට අතරමංව සිටි සිසුන් පිරිස සොයාගැනීමට හැකි වූ බවට පොලීසිය කියයි.
සිසුන් පිරිස සොයාගන්නා විටත් යහපත් සෞඛ්‍ය තත්වයේ සිටි බවත් අද දිනයේ ඔවුන් ඥාතීන් වෙතට බාර දීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කළ ඔඩ්ඩුසුඩාන් පොලීසිය වැඩිදුරටත් කියයි.


