(මනෝප්‍රිය ගුණසේකර)
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි නඩුව පුර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා හමුවේ ම විභාග කිරීමට අවසර දෙන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතාට අද (28) දැනුම් දුන්නේය.
ඕස්ට්‍රේලියානු ජාතිකයකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටොර්නි බලපත්‍රයක් මගින් වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන ගණනක මුදලක් වංචා කිරීම හා සාපරාධීව සාවද්‍යව පරිහරණය කළ බවට ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
අගවිනිසුරුවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන තෙක් නඩු විභාගය කල් තබන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා මෙම නඩුව ලබන සැප්තැම්බර් 26 වැනි දා තෙක් කල් තැබීය.
1996 සැප්තැම්බර් මස 26 වැනිදාත් 1997 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලයේ රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍යව පරිහරණය කිරීම, ඒ සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම, ඊට ආධාර හා අනුබල දීම යන චෝදනා හතරක් යටතේ නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ උදය ගම්මන්පිල මහතා සහ ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ හෙවත් සිඩ්නි ජයසිංහ මහතාය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය අමතමින් මෙම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ ම නඩුව විභාග කිරීමට නියම කරන්නැයි අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.